පුනර්ජනනීය බලශක්තිය තෙගුණයකින් ඉහළ දැමීමට G20 එකඟත්වය

G20 නායකයන් පසුගිය සෙනසුරාදා (09) පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය තෙගුණයක් දක්වා ඉහළ ගෙන යාමට සහ කාලගුණ විපර්යාසය හේතුවෙන් හටගන්නා ආපදා සඳහා වෙන්කෙරෙන අරමුදල් වැඩි කිරීමට එකඟත්වය පළ කළා. ගෝලීය උෂ්ණත්වයේ වර්දනයට හේතු කාරක වන වායූන්ගෙන් 80%ක් ම විමෝචනය වන්නේ G20 රාජ්‍යයන්ගෙන් වීම හේතුවෙන් ඔවුනට පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම කෙරෙහි පැවරී ඇත්තේ සුවිශාල වගකීමක්.

G20 සැසියෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ බලධාරියෙකු වන අමිතාබ් කාන්ත් සඳහන් කළේ දේශගුණ විපර්යාසය කෙරේ ගන්නා ලද පියවර අතුරෙන් වඩාත් කැපී පෙනෙන ලියැවිල්ල මෙය වනු ඇති බවයි.

බොහෝ දේශගුණ සහ බලශක්ති විශේෂඥයන් ඒ ප්‍රකාශය සමග සියයට සියයක් එකඟ නො වුණත් G20 ලෝක නායකයන් මෙවර දේශගුණික විපර්යාසය ගැන බලසම්පන්න පණිවුඩයක් ලෝකයා ඉදිරියේ තබා ඇති බව පිළිගන්නවා. එය දේශගුණ විපර්යාසයේ ම ඵලයක් ලෙසින් ඇති වන අධික උෂ්ණත්වයකට ලෝකය ම නතු ව සිටින මොහොතක සිදු වීම විශේෂත්වයක්.

ලෝක නායකයන් සහ දේශගුණ විශේෂඥයන් පෙන්වා දෙන පරිදි මේ එකඟත්වය දේශගුණ විපර්යාසය පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යෑමට අතිශය උපකාරී වනවා. මේ වසරේ ම අවසාන කාර්තුවේ දී ඩුබායිහි දී පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරී ඇති ගෝලීය දේශගුණ සමුළුව හෙවත් COP28හි දී වඩාත් විස්තීර්ණ වූ දේශගුණ ගිවිසුමකට වේදිකාව ද ඉන් සැකසෙනවා.

‘ගෝලීය විමෝචනවලින් 80%කට ම වගකිව යුතු වන්නේ මේ රටවල් 20 වන බැවින් මේ ප්‍රකාශනය මඟින් දේශගුණ අභිවෘද්ධිය පිළිබඳ බලසම්පන්න සංඥාවක් නිකුත් වනවා’ ඩුබාහි දී සමුළුවේ සභාපතිත්වය දරන Sultan al-Jaber සඳහන් කරනවා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

දකුණු අප්‍රිකානු ගුහා චිත්‍ර පිළිබඳ ජනප්‍රිය අදහස් අභියෝගයට ලක් වෙයි

ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි

ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ