Home Science News ගැනිමීඩ් චන්ද්‍රයාගේ සැඟවුණු සාගරයකින් මතුපිටට කාන්දු වන කාබනික සංයෝග සොයා ගැනෙයි

ගැනිමීඩ් චන්ද්‍රයාගේ සැඟවුණු සාගරයකින් මතුපිටට කාන්දු වන කාබනික සංයෝග සොයා ගැනෙයි

by Sathya

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා වන ගැනිමීඩ් මත පිහිටි අයිස් තලයට යටින් තිබෙන උප පෘෂ්ඨීය ලවණමය සාගරයෙන් මතුපිට පෘෂ්ඨය වෙතට කාන්දු වී ඇති ලවණ හා කාබනික සංයෝග රැසක් හඳුනාගත හැකි වී තිබෙනවා.
කතුවරුන් 28 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පසුගිය ඔක්තෝබර් මස 30 වෙනි දින Nature Astronomy ජර්නලයේ පළ කර ඇති පර්යේෂණ වාර්තාවකට අනුව මේ අනාවරණය සඳහා NASA ආයතනය විසින් දියත් කර ඇති ජූනෝ මෙහෙයුමෙන් ලබාගත් දත්ත යොදාගෙන තිබෙනවා.

ගැලීලියෝ මෙහෙයුමෙන් පසු ව බ්‍රහස්පති හා පරිවාර චන්ද්‍රයන් ගවේෂණයට යවන ලද දෙවෙනි යානය වන ජූනෝ ෆ්ලොරිඩාහි කැනවරල් තුඩුවෙන් දියත් කර හැරියේ 2021 වසරේ අගෝස්තු මස 5 වෙනි දිනයේයි.

බුධ ග්‍රහලොවත් පරදවන කිලෝ මීටර් 5,268 ක විශාලත්වයක් ඇති ගැනිමීඩ් චන්ද්‍රයා අසලින් 2021 වසරේ ජූනි මස 7 වෙනි දින ජූනෝ යානය සිදු කළ සමීප පියසැරියේ දී ලබාගත් දත්ත මේ නවතම සොයාගැනීමට පාදක වී තිබෙනවා.
බුධ ග්‍රහලොවේ වායුගෝලයේ සහ එහි චන්ද්‍රයන්ගේ රසායනය සහ අන්තර් ක්‍රියාවන් අධ්‍යයනය කිරීමට ජූනෝ යානයේ තිබෙන JIRAM (Jovian InfraRed Auroral Mapper) නම් වර්ණාවලිමානයෙන් ලබාගෙන තිබූ දත්ත ඒ සඳහා ආධාර කරගනු ලැබුවා.

ඒ අනුව ගැනිමීඩ් චන්ද්‍රයා මතුපිට පෘෂ්ඨය මත සජලීය සෝඩියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් ක්ලෝරයිඩ්, ඇමෝනියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට්, සජලීය සෝඩියම් ඇමෝනියම් සල්ෆේට් යන ලවණ මෙන් ම ඇලිෆැටික් ඇල්ඩිහයිඩ් කාණ්ඩයට අයත් කාබනික සංයෝග ද ඇති බව අනාවරණය කර තිබෙනවා. මේ සොයාගැනීම මඟින් ගැනිමීඩ් චන්ද්‍රයා නිර්මාණය වූ අන්දම මෙන් ම එහි උප පෘෂ්ඨීය සාගරයේ රසායනික සංයුතිය පිළිබඳ ව දැනගැනීමට තාරකා විද්‍යාඥයන් හට හැකි වෙනවා.

බ්‍රහස්පති ග්‍රහලොවේ ප්‍රබල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය නිසා එහි චන්ද්‍රයන් මතුපිට ලවණ හා කාබනික සංයෝග වැඩි කාලයක් පැවතීමට අපහසුයි. එහෙත් ගැනිමීඩ් චන්ද්‍රයාගේ සමකය අවට ප්‍රදේශය බ්‍රහස්පති චුම්බක ක්ෂේත්‍රයෙන් පිට කෙරෙන ඉලෙක්ට්‍රෝන හා බැර අයනවලින් ආවරණය වී තිබෙනවා.

“බ්‍රහස්පති චුම්භක ක්ෂේත්‍රයෙන් ආරක්ෂා වී තිබෙන අක්ෂාංශවලට අයත් ගැනිමීඩ්ගේ අඳුරු සහ දීප්ත ප්‍රදේශවලින් ලවණ සහ කාබනික සංයෝග විශාල ම ප්‍රමාණයක් සොයාගැනීමට අපට හැකි වුණා.” ඉහත පර්යේෂණ වාර්තාවේ කතුවරයෙකු හා ජූනෝ යානයේ ප්‍රධාන ගවේෂක මෙන් ම සැන් ඇන්ටෝනියෝහි සවුත් වෙස්ට් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ ස්කොට් ජේ. බෝල්ටන් එසේ පවසනවා. හිමායනය වූ ලොවක මතුපිට වෙත ගැඹුරු සාගරයකින් පැමිණි අවශේෂයන් අප දකින බව ඔහු සඳහන් කරනවා.

ගැනිමීඩ් චන්ද්‍රයාගේ අයිස් කබොලට ගැඹුරින් ඇති ද්‍රව තාපජ ක්‍රියාකාරිත්වය මෙන් ම එහි උප පෘෂ්ඨීය සාගරය සහ ගැඹුරු පාෂාණ අතර අන්තර් ක්‍රියාවන් පිළිබඳ ව දර්ශකයක් ලෙස මේ ලවණ හා කාබනික සංයෝගවල පැවැත්ම පෙන්වා දිය හැකියි.

Space.com සහ Nature Astronomy ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications