උදා වූ නව වසරේ පළමු දිනය නිම වීමටත් මත්තෙන් ජපානය ස්වභාවික ආපදාවකට ලක් වූවා. ඒ එරට වේලාවෙන් ඊයේ (01) පස්වරු 4:10ට බටහිර ජපානයේ ඉෂිකවා ප්‍රාන්තයේ අනමිසු ප්‍රදේශයට කිලෝමීටර 42ක් ඊසාන දෙසින් ඇති වූ මැග්නිටියුඩ් 7.5ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන්. නො ගැඹුරු භූ කම්පනයක් වූ එය පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක් ගැඹුරින් ඇති අපිකේන්ද්‍රයක සිට පැතිර ගොස් තිබුණා. United States Geological Survey සහ ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි මැග්නිටියුඩ් 6.2ක ප්‍රබල පසු කම්පනයක් ද ඇතුළු ව තවත් පසු කම්පන කිහිපයක් ම අනමිසු අසලින් වාර්තා වී තිබෙනවා.
භු කම්පන තත්ත්වයන් හේතුවෙන් බටහිර ජපානයේ අධිවේග මාර්ග අවහිර වන සේ වැනසී ගොස් තිබූ අතර ගොඩනැඟිලි කඩා වැටීම හේතුවෙන් සන්නිවේදන සබඳතා ද බිඳ වැටී තිබුණා. ජපාන ප්‍රමුඛ මාධ්‍ය ආයතනය වන NHK වෙත එරට ප්‍රධාන කැබිනට් ලේකම් හයාෂි යොෂිමසා පවසා තිබුණේ නිවෙස් 33,000ක පමණ විදුලිය විසන්ධි වී ඇති බවයි.
ඉෂිකවාහි පිහිටි ෂිකා න්‍යෂ්ටික බලාගාරය සතු බලශක්ති පරිවර්තකයක් ද භු කම්පනයෙන් හානියට ලක් ව තිබෙනවා. යොෂිමසා NHK වෙත පවසා තිබුණේ ඉන් විකිරණ කාන්දුවක් සිදු නො වන බව ස්ථිර කරගත් බවයි.
භූ කම්පනයේ ම දිගුවක් ලෙස බලධාරීන් විසින් බටහිර ජපානය වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුණා. ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් ම සුනාමි රළ වාර්තා වූ අතර අදාළ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් හට උස් වූ ආරක්ෂිත භූමියක් වෙත ඉවත් වන මෙන් උපදෙස් ලබා දෙනු ලැබුණා. ජපානයේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව මීටර 1කට අඩු උසකින් යුතු සුනාමි සඳහා නිකුත් කෙරෙන අනතුරු ඇඟවීම “tsunami advisory” ලෙසත්, මීටර 3ට වැඩි සුනාමි රළ සඳහා නිකුත් කෙරෙන අනතුරු ඇඟවීම් “tsunami warning” ලෙසත්, මීටර 5ට වැඩි උසකින් යුතු සුනාමි රළ සඳහා නිකුත් කෙරෙන අනතුරු ඇඟවීම් “major tsunami warning” ලෙසත් හැඳින්වෙනවා.
මුල් භූ කම්පනය හට ගැනීමෙන් විනාඩි 11කට පසු – එනම් පස්වරු 4:21ට – ඉෂිකාවා ප්‍රාන්තයේ වජිමා නගරයේ මුහුදු බඩ ප්‍රදේශය වෙත මීටර 1.2ක උසකින් යුතු සුනාමි රළක් ඇතුළු වූ බව NHK වාර්තා කළා. ඒ අවට ඇති ටොයාමා නගරය, කෂිවසාකි නගරය, කනසාවා තොට, ටොබිෂිමා දූපත සහ සදෝ දූපතට ද මීටරයකට නො වැඩි උසකින් යුතු සුනාමි රළ පැමිණ තිබුණා.
බරපතල ම සුනාමි අනතුරු ඇඟවීම වන මීටර 5කට අධික උසකින් යුතු රළ කඩා වැදිය හැකි බවට බලාපොරොත්තු වෙමින් “major tsunami warning” මට්ටමේ නිවේදනයක් නොටෝ නගරය වෙත නිකුත් කර තිබුණා. මින් පෙර මෑත ඉතිහාසය තුළ එවැනි මට්ටමේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණේ 2011 වසරේ දී මැග්නිටියුඩ් 9.1ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයකින් පසු ඇති වූ මීටර 10ක් පමණ උස් වූ රළ පැමිණි සුනාමි ඛේදවාචකයට අදාළ ව යි. කෙසේ නමුත් මෙවර එම අනතුරු ඇඟවීම නිකුත් කිරීමෙන් පැය 4ක් ගත වූ තැන අවලංගු කර දැමුණා.
යොෂිමසා සඳහන් කළ පරිදි අවම තරමින් ප්‍රධාන අධිවේගී මාර්ග පහක් වත් මුළුමනින් ම අවහිර වී තිබෙනවා. ඇති වූ භු කම්පන තත්ත්වය හේතුවෙන් බටහිර ජපානයේ උමං දුම්රිය මාර්ග ද අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර අවලංගු කර දමන්නට සිදු ව තිබුණා. නොටෝ ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය ද ඉරිතැලීමකට ලක් ව ඇති අතර එහි ගුවන් වාර දෙකක් අවලංගු කර දැමුණා. තෝකියෝ සිට පැමිණි ගුවන්යානයක් ගොඩබැස්වීමෙන් අනතුරු ව ද යළි ගුවනට නංවා ආපසු පිටත් කර හරින්නට පියවර ගැනුණා. ඊයේ රාත්‍රිය වන විට කොමන්ට්සු ගුවන්තොටුපළේ ගුවන් ගමන් 15ක් අවලංගු කර දමා තිබුණා.
පාසල් නිවාඩු ලබා දෙන්නට තීරණය වී ඇති අතර බටහිර ජපානයේ ඇති පාසල් 21ක් අවතැන් මධ්‍යස්ථාන බවට හරවා තිබෙනවා.
CNN ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි