බලු සුරතලන් අතරින් වැඩි ම ආයුෂ විඳින්නේ කුමන වර්ගයේ සුනඛයන් දැ යි අදහසක් ලබා ගැනීමට එක්සත් රාජධානියේ සිදු කළ නවතම විශ්ලේෂණයක් මඟින් හැකියාව ලැබී තිබෙනවා. සුනඛයන් 580,000 අධික ගණනක් යොදාගෙන සිදු කළ මෙම විශ්ලේෂණයෙන් පෙනී ගොස් ඇති පරිදි ඩක්ශන්ඩ් සහ ශිබා ඉනු වර්ගවලට අයත් කුඩා සුනකයන් උපරිම ආයු කාලයක් විඳින අතර අවම වයසකින් මිය යන සුනඛයන් ලෙස ඉංග්ලිශ් බුල්ඩොග් සහ ශිට්සු වැනි කෙටි හොම්බක් සහිත සුනඛයන් හඳුනාගෙන තිබෙනවා.
“එක්සත් රාජධානිය සුනඛයන් ඇති කිරීමට ප්‍රිය පුද්ගලයන්ගෙන් ගහන බව පෙනුණත්, අපේ බලු ගහනය නඩත්තු කිරීමේ දී ඔවුන්ගෙන් බලාපොරොත්තු වන ජීවන පරාසයට ළඟා නො වන බව පෙනී ගොස් තිබෙනවා.” එක්සත් රාජධානියේ සුනඛයන්ගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින Dogs Trust සංවිධානයේ Kirsten McMillan සඳහන් කරනවා.
සුනඛයන්ගේ ආයුකාලය පිළිබඳ වඩාත් ප්‍රායෝගික වූ විශ්ලේෂණයක් සඳහා McMillan සහ සගයන් සත්ත්ව සුබසාධක සංගම්, පශු වෛද්‍යවරුන්, සුරතල් සතුන් සඳහා වන රක්ෂණ සමාගම් ආදී විවිධ මූලාශ්‍ර ඔස්සේ දත්ත රැස් කිරීම් සිදු කර තිබුණා. මේ සඳහා සුනඛයන් 584,734 දෙනෙකුගේ දත්ත ප්‍රයෝජනයට ගැනුණා. ඒ සුනඛ වරිග 154ක් නියෝජනය කෙරෙන පරිදියි. මේ අතරින් 284,734ක් ම මිය ගොස් තිබුණා.
සමාන්‍යයෙන් සුනඛයෙකුගේ ආයුකාලය අවුරුදු 12.5 ලෙස සැලකෙනවා. එසේ ම පිරිමි සතකුගේ සමාන්‍ය ආයුකාලය අවුරුදු 12.4 ක් සහ ගැහැනු සතකුගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු 12.7 ක් ලෙසත් පිළිගැනෙනවා.
රැස් කරගත් දත්ත වර්ගීකරණය කිරීමේ දී කණ්ඩායමට පෙනී ගියේ ගුහැණු පිරිමි භේදයකින් තොර ව ශරීර ප්‍රමාණයෙන් කුඩා, හොම්බ දිගු සුනඛ විශේෂයන්ගේ ආයු කාලය සාපේක්ෂ වශයෙන් ඉහළ බවයි. ඔවුන්ගේ සාමාන්‍ය ආයුකාලය අවුරුදු 13.3ක් පමණ වුණා. එසේ ම කෙටි හොම්බක් උරුම වී ඇති මධ්‍යස්ථ සිරුරකින් හෙබි සුනඛයන්ගෙන් ගැහැනු සතුන් 9.6කුත්, පිරිමි සතුන් 9.1කුත් වශයෙන් අවම ආයුකාලයක් වාර්තා කළා
“කුඩා හෝ ලොකු හෝ වේවා පැතලි මුහුණක් සහිත ෆ්‍රෙන්ච් බුල්ඩෝග්, ප්‍රේසා කැනෑරියෝ, සෙන්ට් බර්නාඩ් වගේ සතුන් දීර්ඝායුෂ විඳින්නේ නැහැ.” McMillan සඳහන් කරනවා.
පැතලි මුහුණක් සහිත සුනඛ වරිග හුස්ම ගැනීමේ දී, ආහාර දිරවීමේ දී මෙන් ම නිදා ගැනීමේ දී පවා විවිධ සෞඛ්‍යමය තත්ත්වයන්ට පත් වන බව තරමක් ප්‍රකට කරුණක්. අඩු ආයුකාලයට ඒවා ද හේතුවක් වන බව උපකල්පනය කෙරෙනවා.
Virginia Tech ආයතනයේ Audrey Ruple සඳහන් කරන පරිදි වරිග අතර අභිජනන ක්‍රියාවලීන් අතරින් බිහිවන නව සුනඛ විශේෂ දිගු ආයු කාලයකට උරුමකම් කියන බවට දිගු කලක සිටි විශ්වාසයක් පැවත තිබෙනවා. එම විශ්වාසයේ තර්කය වී තිබුණේ ඉන් සතුන් සතු ජානමය විවිධත්වය වැඩි වීම සෞඛ්‍ය සම්පන්න බව සඳහා සාධනීය ලෙස බලපානු ඇති බවයි. නමුත් මෙවැනි විශ්ලේෂණාත්මක විමර්ශන තුළින් එම මතය අභියෝගයට ලක් වන බව ඇය පෙන්වා දෙනවා.
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්