කලාතුරකින් දැකිය හැකි මෙගාමවුත් මෝරෙකු ප්‍රථම වතාවට නැඟෙනහිර අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා. අල්ලා මරන ලදු ව නැඟෙනහිර අප්‍රිකාවේ Zanzibarහි පිහිටි මත්ස්‍ය වෙළෙඳසලකින් එම මතස්‍යයා ඩොලර් 17ක මුදලකට අලෙවි වී තිබෙනවා.
Megachasma pelagios ලෙස විද්‍යාත්මක ව හැඳින්වෙන මෙගාමවුත් මෝරා ලොව ඔ්නෑ ම සාගර කලාපයක වාසය කරනවා. මෙගාමවුත් ලෙස නම් ලැබීමට හේතු වී තිබෙන්නේ ශරීරය හා සසඳන කල ඌ සතු ව ඇති විශාල කටයි. හැඩයෙන් සුවිශාල කටක් ඇති යෝධ ඉස්ගෙඩියෙකුට සම කළ හැකි මෙගාමවුත් මෝරකු මුලින් ම නිරීක්ෂණය කරනු ලැබ ඇත්තේ 1976 වසරේ දී යි. ඒ හවායි ආසන්න මුහුදේ යාත්‍රා කළ නාවුක හමුදා බෝට්ටුවක නැංගුරම් දම්වැලේ පැටලී සිටිය දී යි. එදා සිට මේ දක්වා මෙගාමවුත් දර්ශනය වීම් වාර්තා වී ඇත්තේ 280කටත් අඩු ගණනක් වුවත් ඒවා ලොව වටා සාගර කලාපවලින් වාර්තා වී තිබීම මත ඔවුන් සෑම සාගර කලාපයක ම වාසය කරන බවට උපකල්පනය කෙරෙනවා. කෙසේ නමුත් මේ මෝර විශේෂය ගැන ගැඹුරු අධ්‍යයනයක් මේ වන තුරුත් සිදු කෙරී හැහැ.
දන්නා තොරතුරු මත මෙගාමවුත් මෝරකු මීටර 7 දක්වා වැඩෙන බව සඳහන් වනවා. ඒ අනුව මෙම විශේෂය ග්‍රේට් වයිට් මෝරුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් තරමක් විශාල විය හැකි බව නිගමනය කළ හැකියි. කෙසේ නමුත් වාර්තා වී ඇති මෙගාමවුත් මෝරුන් අතරින් බහුතරයකගේ සාමාන්‍ය දිග මීටර 5.5ක් පමණ වනවා. එය tiger shark හෙවත් කොටි මෝරෙකුගේ දිගට හෝ වැඩුණු ජිරාෆ් කෙනෙකුගේ උසට සමාන කළ හැකියි.
පෙනුම නිසා ඇතැමෙකු වඳ වී ගිය පුරාතන විලෝපික මෝරකු වන මෙගලඩන් සමග පටලවා ගත්තත්, මෙගාමවුත් මෝරා නිවුණු ගති පැවතුම් ඇති මෝර විශේෂයක් වනවා. බොහෝ විට උන් පිහිනා යන්නේ ද තල්මස් මෝරා මෙන් නිහඬ සහ අලස බවකින්.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්