Home Science News සාහසික වෙඩි පහරින් මරු වැලඳගත් ‘ඇනා ජූලියා’

සාහසික වෙඩි පහරින් මරු වැලඳගත් ‘ඇනා ජූලියා’

by Sathya

ඇමේසන් වනයේ වාසය කළ ලොව විශාතම සර්පයා සලකනු ලැබූ ‘ඇනා ජූලියා’ දඩයක්කරුවන් විසින් ඝාතනය කර දැමීම හේතුවෙන් විද්‍යාඥයන් දැඩි කණස්සල්ලටත්, උදහසටත් පත් වී තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර ජීව විද්‍යාඥ කණ්ඩායමක් විසින් උතුරුකර කොළ ඇනකොන්ඩා විශේෂයට අයත් වන අඩි 26ක් දිගැති මෙම යෝධ සර්පයා මුලින් ම සොයාගනු ලැබුණේ පසුගිය පෙබරවාරි මාසයේ යි. DNA සන්සන්දනය කළ විට එය අනෙකුත් ඇනකොන්ඩා විශේෂයන්ට වඩා 5.5% කින් වෙනස් බව පෙනී ගියෙන් ඇය නව වි⁣ශේෂයකට අයත් බව ඔවුන් නිගමනය කර තිබුණා. ගැහැණු සතෙකු වූ ඇය හැඳින්වීම සඳහා ‘ඇනා ජූලියා’ යන සුරතල් නම පටබැඳී තිබුණා.

කෙසේ නමුත් මෙම අපූරු සොයා ගැනීමෙන් මසක් ඉක්ම යාමටත් පෙර කුරිරු මිනිසුන්ට ගොදුරු වී ‘ඇනා ජූලියා’ මිය ගොස් ඇති බව අසන්නට ලැබීම ලොවක් කම්පනය කර තිබෙනවා.

ඇගේ නිසල සිරුර හමු වී තිබුණේ බ්‍රසීලයේ Mato Grosso do Sul ප්‍රාන්තයට අයත් ඇමේසන් වනාන්තරයට මායිම් වන බොනිටෝ නම් ග්‍රාමීය ප්‍රදේශය අසලින් ගලා යන ෆෝමෝසෝ ගංගාව අසබඩ තිබිය දීයි. දඩයක්කරුවන් විසින් වෙඩි තබා ඇය මරා දමා ඇති බව නිරීක්ෂණය වී තිබුණා.

ඇනකොන්ඩා මුලින් නිරීක්ෂණය කළ විද්‍යාඥ කණ්ඩායමේ සිටි නෙදර්ලන්ත ජාතික පර්යේෂකයෙකු සඳහන් කරන්නේ මේ හද සසල කරවන පුවත ඇසීමෙන් තමන් “සංවේගයටත්, කේන්තියටත්” පත් වූ බවයි.

පර්⁣යේෂණ කණ්ඩායමේ සිටි තවත් ජීව විද්‍යාඥයෙකු වන Freek Vonk සිය Instagram ගිණුමේ සංවේදී සටහනක් තබමින් සිය සංවේගය ප්‍රකාශ කර තිබුණා. “මා සමඟ එකට පිහිනූ යෝධ ඇනකොන්ඩා මිය ගොස් සිටිය දී සොයාගෙන ඇති බව වේදනාබරිත හදවතින් වුව, ඔබට දැනුම් දෙන්නට කැමතියි. මම විවිධ මූලාශ්‍රවලින් දුටුවා ඇය වෙඩි තබා මරා දමා ඇති බවට. නමුත් තවම නිල වශයෙන් තහවුරු කිරීමක් සිදු වී නැහැ. මට එක විට දුකත් කේන්තියත් දෙක ම දැනෙනවා. මේ තරම් ලස්සන, අද්විතීය සතෙකුට මේ සා අපරාධයක් කරන්නට තරම් ඔබ මොනතරම් සාහසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු විය යුතු ද? මා දන්න තරමින් ජීවිතයේ හොඳ ම කාලය ගත තරමින් සිටි ඇය පසු වූයේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන්. ජනිතයන් ගණනාවක් බිහි කිරීමේ හැකියාව ඇයට තිබුණා.⁣ මෙවැනි යෝධ සර්පයන් වැඩිමනක් නොමැති නිසා මෙය ජෛවවිවිධත්වට ගැසූ නින්දිත අතුල් පහරක්.” ඔහු සඳහන් කරනවා.
ඔහු සටහන් කර තිබුණා.

Daily Mail ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications