Home Science News BOAT ගැමා කිරණයේ ප්‍රභවය සොයාගැනෙයි

BOAT ගැමා කිරණයේ ප්‍රභවය සොයාගැනෙයි

by Sathya

මහා පිපුරුමෙන් පසු, වාර්තාගත විශාලතම විශ්වීය පිපුරුමේ ප්‍රභවය සොයා ගැනීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබෙනවා.

BOAT හෙවත් ‘Brightest Of All Times’ ලෙස හැඳින්වෙන ගැමා කිරණ ප්‍රවාහය (GRB) පොළොව මත මෙන් ම හා අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂ මඟින් ග්‍රහණය කර ගැනුණේ ඉකුත් 2022 වසරේ ඔක්තෝබර් 09 වැනි දා යි. එය පැමිණ තිබුණේ ආලෝක වර්ෂ බිලියන 2.4ක් ඈතින් ඇති Sagitta තරු රටාව පසුබිම් කරගෙනයි.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ නිරීක්ෂණ ආධාරයෙන්, එම ගැමා කිරණ ප්‍රවාහය නිකුත් වී ඇත්තේ යෝධ තාරකාවක් බිඳ වැටීමෙන් පසු ඇති වූ සුපර්නෝවා පිපුරුමකින් බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන්ගේ මෙම සොයාගැනීම තවත් එක අබිරහසක් ද ලොව හමුවට ගෙන එනවා. BOAT පිටුපස ඇති සුපර්නෝවාවන් ප්ලැටිනම් සහ රත්‍රන් වැනි බරැති මූලද්‍රව්‍ය නිපදවන විශ්වීය කර්මාන්තශාලා වැනියි. නමුත් මෙම සොයාගැනීම කළ විද්‍යාඥයන් හට එම සුපර්නෝවාව දෙසින් එවැනි මූලද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට නො හැකි වී තිබෙනවා.

“අප GRB ප්‍රවාහය උත්පාදනය වුණේ යෝධ තාරකාවක බිඳවැටීමෙන් පසු බව තහවුරු කරගත් විට විශ්වයේ තිබෙන බරැතිම මූලද්‍රව්‍යයන් කිහිපයක් බිහිවන්නේ කොහොම ද කියන එක ගැනත් උපකල්පනය කිරීමේ අවස්ථාව ලැබුණා.” අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ඉලිනොයිස්හි Northwestern සරසවියේ තාරකා භෞතිකවිද්‍යාඥ Peter Blanchard සඳහන් කරනවා. “මෙහි දී අපට ඒ බර මූලද්‍රව්‍ය ඇති බවට සලකුණු හමු වූයේ නැහැ. ඉන් ගම්‍ය වන කරුණ නම් BOAT වැනි අතිශයෙන් බල සම්පන්න ගැමා කිරණ ප්‍රවාහයන්හි දී එම අමුද්‍රව්‍ය නිපදවෙන්නේ නැති බවයි. ඉන් අදහස් වන්නේ නැහැ සෑම GRB එකකින් ම බරැති මූලද්‍රව්‍ය නො නිපදවෙන බව. නමුත් ඒක මේ මූලද්‍රව්‍යවල සම්භවය සිදු වූයේ කොහෙන් ද කියන තොරතුර සොයායන ගමනේ ලැබුණු එක් ඉඟියක් පමණයි.”

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications