Home Science News Madonna of the Rose සිතුවමේ එක් මුහුණක් රෆායෙල් විසින් අඳින ලද්දක් නො වන බව කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයක් තීරණය කරයි

Madonna of the Rose සිතුවමේ එක් මුහුණක් රෆායෙල් විසින් අඳින ලද්දක් නො වන බව කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයක් තීරණය කරයි

by Sathya

සිතුවම්වල ඇති මිනිස් ඇසට ගෝචර නො වන සැඟවුණු ලක්ෂණ හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධිය පුහුණු කළ හැකියි. දැන් ලෝක පූජිත ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු මෙන් ම ගෘහ සැලසුම්කරණ ශිල්පියෙකු ද වූ රෆායෙල්ගේ ලෝ ප්‍රකට සිතුවමක සැඟවුණු යම් අමුත්තක් හඳුනා ගන්නට කෘත්‍රිම බුද්ධිමය නියුරල් පද්ධතියක් සමත් ව තිබෙනවා.

මේ අනාවරණයට තුඩු දී ඇති සිතුවම වන්නේ Madonna della Rosa හෙවත් Madonna of the Rose ලෙස නම් කෙරී ඇති සිතුවමයි. සැලකිය යුතු කාලයක පටන් ම විද්වතුන් දෙපිල බෙදී සිටියේ මෙය රෆායල් විසින් තිනි ව ඇඳි සිතුවමක් ද නැති ද යන්න මුල් කරගෙනයි. යම් කලා කෘතියක ස්වතන්ත්‍ර බව තහවුරු කිරීම සූක්ෂ්ම වූ ක්‍රියාවලියක් මඟින් සිදු කළ යුතු ව පවතින අතරේ කෘත්‍රිම බුද්ධිමය ඇල්ගොරිතමයේ තීරණය වී තිබෙන්නේ අවම තරමින් සිතුවමේ ඇති පින්සල් පාර කිහිපයක් හෝ වෙනත් කලාකරුවකුට අයත් බවටයි.

එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පර්යේෂකයන් විසින් මේ කෘත්‍රිම බුද්ධිමය විශ්ලේෂණ ඇල්ගොරිතමය ගොඩනඟා තිබෙන්නේ රෆායෙල් නම් මහා සිතුවම් ශිල්පියාගේ නිර්මාණ ගණනාවක ගුණාංගයන් අධ්‍යයනය කරමින් ඔහුගේ නිර්මාණ පිළිබඳ දැනුම තර කර මතකයේ තබාගත හැකි ලෙසයි. මේ සඳහා නියත වශයෙන් ම රෆායෙල් විසින් ම අඳින ලදැ යි තහවුරු කර ගත් නිර්මාණ යොදාගෙන තිබුණා. මෙහි දී ඔහු අනුගමනය කර තිබූ ශෛලිය පින්සල් පහරවල ස්වභාවය, වර්ණ භාවිතය මෙන් ම අඳුරු කිරීම ආදී ලාක්ෂණික රාශීයක් අතිශය සවිස්තරාත්මක ලෙස ඉගෙනීමට ඇල්ගොරිතමය සමත් ව තිබුණා.

“පරිගණකය මිනිස් ඇසකට වඩා ගැඹුරින්, අන්වීක්ෂීය මට්ටම දක්වා තියුණු ඇසකින් දකිනවා.” එක්සත් රාජධානියේ Bradford සරසවියේ ගණිතඥ මෙන් ම පරිගණක විද්‍යාඥ Hassan Ugail පවසනවා. රෆායෙල්ගේ සිතුවම් හඳුනා ගැනීමෙහි ලා මේ කෘත්‍රිම බුද්ධිමය ඇල්ගොරිතමය දක්වන නිරවද්‍යතාවය 98%ක් බව පෙන්වා දී තිබෙනවා. සාමාන්‍යයෙන් එය පුහුණු කර ඇත්තේ සමස්ත චිත්‍රය දෙස බලා හඳුනා ගැනීම සිදු කිරීම වුවත් Madonna of the Rose සිතුවම සම්බන්ධයෙන් ඇතුළත් චරිතවල මුහුණු වෙත වෙන වෙන ම අවධානය යොමු කිරීමට විධාන කර තිබෙනවා. මෙහි දී මැඩෝනාගේ, දරුවාගේ සහ ශාන්ත ජෝන්ගේ මුහුණු රෆායෙල්ගේ අතින් ම සිතුවම් වී ඇති බවට හඳුනා ගැනුණු නමුත් ශාන්ත ජෝසෆ්ගේ මුහුණ එසේ නො වන බව හඳුනා ගෙන තිබුණේ මින් පෙර විචාරකයන් විසින් ද වෙනත් අයෙකු විසින් නිම කරන ලදැ යි පළ කර තිබූ සැකය තහවුරු කරමින්.

විද්වතුන්ගේ අනුමානයට අනුව Madonna della Rosa සිතුවම නිම වී ඇත්තේ ක්‍රි.ව. 1518ත්, 1520ත් අතර කාලයේ දී යි. සිතුවම මුළුමනින් ම රෆායෙල් විසින් පමණක් නිම වන ලද්දක් නො වන බවට විචාරක අදහස් මුල් වරට පළ වන්නට ගත්තේ 1800 ගණන්වල මැද කාලයේ දී යි. ගැටලුවට තුඩු දී ඇති ශාන්ත ජෝසෆ්ගේ මුහුණ නිම කරන්නට ඇත්තේ රෆායෙල්ගේ ශිෂ්‍යයෙකු ලෙස සැලකෙන Giulio Romano බවට මතයක් ඇතත් එය මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

Science Alert ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications