1968 වසරේ දෙසැම්බරයේ දී ඇපලෝ 8 යානයෙන් චන්ද්‍රයා වටා දස වාරයක් කක්ෂගත වූ අභ්‍යවකාශගාමීන් තිදෙනගෙන් එක් අයෙකු වූ බිල් ඇන්ඩර්ස් (විලියම් ඇලිසන් ඇන්ඩර්ස්) පසුගිය ජූනි 7 වෙනි සිකුරාදා දින සිය 90 වෙනි වියේ දී ගුවන් අනතුරකින් මිය ගියා.
ඇමරිකානු ගුවන් හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙක් හා විදුලි හා න්‍යෂ්ටික ඉංජිනේරුවෙකු මෙන් ම NASA අභ්‍යවකාශගාමියෙකු ද වූ බිල් ඇන්ඩර්ස් මෙම අනතුරට මුහුණ දුන්නේ වයඹදිග වොෂින්ටන් ජනපදයට අයත් සැන් ජුවන් දූපත්වල වෙරළට නුදුරින් ඔහු පැද වූ ගුවන් යානය ජලය සමග ගැටීමෙනුයි.
සය දරු පියෙකු වූ ඔහුගේ පුත් ග්‍රෙග් ඇන්ඩර්ස් පැවසූ අන්දමට බිල් පැදවූ යානය Beechcraft T – 34 Mentor වර්ගයේ තනි එන්ජිමේ ගුවන් යානයක්. අනතුර දුටුවන් ලබාගත් වීඩියෝ දසුනකින් දැක්වෙන්නේ බිල් ඇන්ඩර්ස් ගුවන් යානය පහත් කර ඉහළට ගැනීම සඳහා පැදවූ පුඩුව පතුලේ දී ජලය සමග ගැටෙන බවයි.
1963 වසරේ දී NASA ආයතනය මඟින් තෝරාගත් තුන් වැනි අභ්‍යකාශගාමීන් කණ්ඩායමට අයත් වූ ඇන්ඩර්ස් සහභාගී වුණු එකම අභ්‍යකාශ චාරිකාව 1968 වසරේ දෙසැම්බර් 21 වෙනි දින දියත් කළ ඇපලෝ 8 මෙහෙයුමයි.
NASA ආයතනයේ නිමැවුමක් වූ Saturn v රොකටය මඟින් අභ්‍යවකාශගත වූ මුල්ම මිනිසුන්ගෙන් අයෙකු වූ බිල් ඇන්ඩර්ස් ලොව වඩාත් ම කීර්තිමත් පුද්ගලයෙකු බවට පත් වූයේ එම චාරිකාවේ දී සඳේ සිතිජයට ඉහළින් අපේ මාතෘ ග්‍රහලොව පායන අසිරිය දැක්වෙන අපූර්වතම ප්‍රතිමූර්තියක් බඳු ඓතිහාසික වර්ණ ඡායාරූපය සිය තෙවැනි ඇසෙන් ලබාගත් අභ්‍යවකාශගාමියා වීම නිසයි.
එක්සත් ජනපද මුද්දරයකට පවා ගත් මෙම ආකර්ෂණීය “Earthrise” ඡායාරූපය ලොව පරිසර සංවිධාන ගෙනගිය මිහිතලය සුරැකීමේ ව්‍යාපාරවල දී අගනා සංකේතයක් ලෙස යොදාගෙන තිබෙනවා.
බිල් ඇන්ඩර්ස් සහ ඔහු සමග ඇපලෝ 8 චාරිකාවේ යෙදුණු ෆ්‍රෑන්ක් බෝමන් සහ සිය 96 වැනි වියේ දැනට ජීවතුන් අතර සිටින ජේම්ස් ලොවෙල් යන තිදෙන අපේ චන්ද්‍රයා වටා කක්ෂගත වූ මුල් ම මිනිසුන් තිදෙන වූ නිසා ම ඔවුන් සඳේ අපට නො පෙනෙන පැත්ත සියැසින් දුටු මුල් ම මිනිසුන් තිදෙනා ද වෙනවා.
NASA ආයතනයෙන් සමුගත් පසු බිල් ඇන්ඩර්ස් 1976 වසරේ සිට 1977 වසර දක්වා වසරක කාලයක් නෝර්වේ රටේ ඇමරිකානු තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
එදා 1968 වසරේ දෙසැම්බර් මස 27 වෙනි දින ඇපලෝ 8 මෙහෙයුම නිම කළ යානය උතුරු පැසිෆික් සාගර ජලය මත සුරක්ෂිත ව Splashdown ආකාරයේ ගොඩබැසීමක් කරන විට අභ්‍යවකාශයේ දින හයකුත්, පැය තුනක් හා තත්පර 42 ක් ගෙවූ බිල් ඇන්ඩර්ස් අනාගතයේ දිනක සිය ජීවිත ඉරණම ගුවන් යානයක් තුළ දී ජලය මත දී ම විසඳෙනු ඇතැයි කිසි සේත් නො සිතන්නට ඇති.
Space.com ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි