රුධිරය වෙනුවට ආම්ලික තරලයක් වෑස්සෙන පිටසක්වළ ජීවියෙකුගෙන් බේරී පණ බේරාගන්නට සමත් වන්නේත් (Alien – 1979), විනාශ වී ගිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිට නිරුපද්‍රිත ව පොළොවේ පය තබන්නට සමත් වන්නේත් (Gravity – 2013) කාන්තාවක් පමණයි. මෙතෙක් කලකට හොලිවුඩයට පමණක් සීමා වී තිබූ නමුත් තවමත් මූලික අදියරේ පවතින අධ්‍යයනයකින් ඇඟවෙන්නේ මෙවැනි නිර්මාණවල එන කාන්තා නිරුපද්‍රිතයන් යථා ලෝකයේත් සිටින්නට ඉඩ තිබෙන බවයි.
මේ අධ්‍යයනයෙන් යෝජනා කෙරෙන්නේ පිරිමි අභ්‍යවකාශගාමීන්ට වඩා, අභ්‍යවකාශ ගමන් මඟින් ඇති කෙරෙන පීඩනයන්ට වඩාත් හොඳින් මුහුණ දීමට සහ යළි පෘථිවියට පැමිණි පසු වඩාත් ඉක්මනින් ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වීමට කාන්තා අභ්‍යවකාශගාමීන්ට ඇති හැකියාව ඉහළ බවයි. අධ්‍යයනයේ මූලික සොයාගැනීම් අවසන් නිගමනයකට ඒමට තරම් ප්‍රමාණවත් නො වුණත් ඒ බව තහවුරු වුවහොත් අභ්‍යවකාශගාමී ප්‍රකෘතිකරණ වැඩසටහන් මෙන් ම අනාගත අභ්‍යවකාශ මෙහෙයුම්වල ද හැඩය වෙනස් කිරීමට වුව ද සමත් වනු ඇති.
මේ අධ්‍යයනය සිදු කළේ නිව් යෝක් නුවර Weill Cornell Medicine හි කායික විද්‍යා මහාචාර්ය Christopher Masonගේ මූලිකත්වයෙන්. මෙහි දී අභ්‍යවකාශගත වූ පිරිමින් දෙදෙනෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකු විශ්ලේෂණයට බඳුන් වූ අතර අභ්‍යවකාශ පියාසැරියෙන් පසු ඔවුන්ගේ ස්නායුක පද්ධතියේ ඇති වී තිබූ වෙනස්කම් අධ්‍යයනය කෙරුණා. ඔවුන් සිව් දෙනා ම 2021 වසරේ දී SpaceX Inspiration 4 මෙහෙයුම සඳහා එක් වූ අයයි. ඔවුන් සිව් දෙනා අධ්‍යයනය කිරීමෙන් රැස් කරගත් දත්ත තවත් අභ්‍යවකාශගාමීන් 64 දෙනෙකු සමඟ සසඳා බලන්නට ද පර්යේෂකයන් කටයුතු කර තිබුණා.
මෙහි දී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ අභ්‍යවකාශ ගමන මඟින් කාන්තාවන්ට වඩා පිරිමි අභ්‍යවකාශගාමීන්ගේ ජාන ක්‍රියාකාරීත්වයට සාපේක්ෂ ව වැඩි බලපෑමක් සිදු වී ඇති බවයි. එම තත්ත්වය සාමාන්‍ය අතට හරවා ගැනීමට ද පිරිමි අභ්‍යවකාශගාමීන් හට සාපේක්ෂ ව වැඩි කාලයක් වැය වන බව නිරීක්ෂණය වී තිබුණා.
“ලබාගත් දත්ත පෙන්වා දෙන්නේ අභ්‍යවකාශ ගමනට ප්‍රතිචාර වශයෙන් සිදු වන ජාන නියාමනය සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය පිරිමින් තුළ දී වඩාත් සංවේදී වන බවයි.” පර්යේෂකයන් පෙන්වා දෙනවා. “මේ ප්‍රවණතාවන් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් අධ්‍යයනයේ නිරත වීම අවශ්‍ය වනවා. නමුත් මේ බව තහවුරු වුණොත් අභ්‍යවකාශගාමීන් තෝරා පත්කර ගැනීමේ ක්‍රියා පටිපාටිය වෙනස් වීමට ඉඩ තිබෙනවා. උදාහරණ වශයෙන් ඉහළ උන්නතාංශ, චන්ද්‍ර සහ ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා කාන්තා අභ්‍යවකාශගාමීන්ගේ සහභාගීත්වය වැඩි වීමට ඉඩ තිබෙනවා.”
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්