Science News ජපානයේ වේගයෙන් පැතිරෙන STSS SathyaJune 19, 20240289 views භයානක බැක්ටීරියා ආසාදනයක් නිසා හටගන්නා මාරාන්තික රෝගයක් ජපානයේ හිස ඔසවමින් තිබෙනවා. එහි පැතිරීම එක් වර ම ඉහළ යාමට හේතුව මෙතෙක් අනාවරණය කරගන්නට විශේෂඥයන් සමත් වී නැහැ. Streptococcal toxic shock syndrome හෙවත් STSS නම් වන මෙය ගත වූ මාස කිහිපය තුළ ආසාදනය වූ පුද්ගලයන් ගණන 977ක් බවත්, ඉන් 77 දෙනෙකු මිය ගොස් ඇති බවත් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. STSS සතු මරණ අනුපාතය 30%ක්. එනම් එය වැළඳුණු 10 දෙනෙකුගෙන් 3 දෙනෙකු මිය යාම සිදු විය හැකියි. STSS ඇති වන්නේ ගැඹුරු සෛල පටක සහ රුධිර නාලිකා තුළට වන් බැක්ටීරියා මඟින් ඇති කරනු ලබන බරපතළ තත්ත්වයේ ආසාදනයන් මඟින්. STSS සඳහා බහුල ලෙස වගකිව යුතු වන්නේ A කාණ්ඩයේ streptococcus බැක්ටීයාවන් බව සොයාගෙන තිබෙනවා. ආසාදිතයන් හට මුල දී උණ, මස්පිඬුවල වේදනාව සහ වමනය පහ වීම වැනි රෝග ලක්ෂණ ඇති වන අතර ඉතා ඉක්මණින් අඩු රුධිර පීඩනය, සිරුර ඉදිමීම සහ අවයවයන්ගේ අක්‍රීය වීම වැනි මරණීය අකර්මණ්‍යතාවන් ඇති වීමට ඉඩ තිබෙනවා. ඇමරිකාවේ ව්‍යාධි පාලන හා මර්ධන මධ්‍යස්ථානයට අනුව STSS වෛද්‍ය ප්‍රතිකාර යටතේ වුවත් මාරාන්තික විය හැකියි. Strep A බැක්ටීරියා “මස් කන” බැක්ටීරියාවන් ලෙස ද ප්‍රකටයි. ඒ ආසාදිතයන්ගේ සිරුරේ සම මත දරුණු ගණයේ Necrotizing fasciitis තත්ත්වයන් ඇති කරමින් පටක විනාශ කර දැමීමට එයට ඇති හැකියාව හේතුවෙන්. කෙසේ නමුත් මේ පටක විනාශ වීමේ තත්ත්වය ඇති වන්නේ පිළිකා හෝ දියවැඩියාව වැනි බෝ නො වන රෝග සමඟ ද සටන් කරමින් සිටින රෝගීන් වෙත STSS වැළඳුණු විට බව CNN සඳහන් කරනවා. ජපානයේ ඇති වී තිබෙන STSS වසංගත තත්ත්වය පසුගිය වසරේ එරටින් වාර්තා වූ STSS ආසාදිතයන් ගණන වූ 941 මේ ගත වූ මාස කිහිපය තුළ දී ම ඉක්මවා තිබෙනවා. කෝවිඩ් – 19 පාලන විධිවිධාන යටතේ බහුල වශයෙන් පිළිපැදුණු සමාජ දුරස්ථ භාවය සහ මුව ආවරණ පැළඳීම වැනි ආරක්ෂිත පියවර හේතුවෙන් A strep ආක්‍රමණික බැක්ටීරියා ආසදනවල අඩු වීමක් දක්නට ලැබුණු නමුත් එකී පූර්වාරක්ෂණ උපක්‍රම ලිහිල් වීමත් සමඟ යළි පෙර නො වූ විරූ ලෙස හිස ඔසවා තිබෙනවා. ජපාන බලධාරීන් පෙන්වා දෙන පරිදි 2023 ජූලි මස සිට වැඩි වශයෙන් වාර්තා වන STSS රෝගී තත්ත්වය වයස 50ට වැඩි පිරිස අතර බහුල ව පැතිරෙන බවක් පෙනී ගොස් තිබෙනවා. ජපානයේ NHK නාලිකාව සඳහන් කරන පරිදි එරට තුළ STSS රෝග තත්ත්වය එක්වරම පුපුරා යාමට හේතුව මෙතෙක් නියත වශයෙන් හඳුනාගෙන නැහැ. තෝකියෝ නුවර කාන්තා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙන් කිකුචි සඳහන් කරන්නේ කෝවිඩ් සමය තුළ ක්‍රියාවට නැංවුණු පූර්වාරක්ෂණ පිළිවෙත් හේතුවෙන් මහජනයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල ව පැවතීම මෙයට හේතුව විය හැකි බවයි. STSS තවමත් ගෝලීය වසංගතයක් දක්වා දුර දිග ගොස් නොමැති නිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අනියක බියක් ඇති කර ගත යුතු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරනවා. CNN ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්