Home Science News Chang’e 6 චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තෙන් එකතු කරගත් පස් සාම්පල නිරුපද්‍රිත ව පෘථිවියට

Chang’e 6 චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තෙන් එකතු කරගත් පස් සාම්පල නිරුපද්‍රිත ව පෘථිවියට

by Sathya

චීනය අභ්‍යවකාශ තරණයේ ඉතිහාසය වෙනස් කරන්නට ඊයේ සමත් වුණා.

ඒ සිය Chang’e 6 මෙහෙයුම ඔස්සේ සඳේ නො පෙනෙන පැත්තේ සිට ගෙන එනු ලැබූ චන්ද්‍ර පස් සාම්පල සහිත කැප්සියුලය සාර්ථක ලෙස පොළොවට ළඟා වීමත් සමඟයි.

චන්ද්‍ර පාංශු සාම්පල සහිත කැප්සියුලය ඊයේ බෙයිජිං වේලාවෙන් පස්වරු 2.07ට චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවට ඉහළින් සුමට ගොඩබැස්මක් ක⁣ළා.

චන්ද්‍ර ලෑන්ඩරයක් හෙවත් ගොඩබැසුම් යානයක්, චන්ද්‍ර පාෂාණ තැන්පත් කළ හැකි කැප්සියුලයක්, කක්ෂගත යානයක් සහ ආරෝහකයක් හෙවත් චන්ද්‍ර පෘෂ්ඨයේ සිට ඉහළ නැඟිය හැකි කුඩා රොකට් යන්ත්‍රයක් Chang’e 6 මෙහෙයුම සමන්විත ප්‍රධාන මොඩියුල හතර ලෙස ඇතුළත් වී තිබුණා.

Chang’e 6 මෙහෙයුම දියත් වූයේ පසුගිය මැයි 3 වැනි දා චීනයේ වෙන්චෑංග් දියත් කිරීමේ අංගණයේ සිටයි. ඉන් දින පහකට පසු චන්ද්‍රයා වටා කක්ෂයකට අවතීර්ණ වන්නට සමත් වුණා. ජූනි 01 වැනි දා සඳෙහි නො පෙනෙන පැත්තේ, දක්ෂිණ ධ්‍රැවයට ආසන්න ව පිහිටි South Pole – Aitken (SPA) ද්‍රෝණියේ ඇති කිලෝමීටර 2,500ක විශ්කම්භයක් සහිත Apollo ආවාටය මතට ගොඩ බැසීමට එය සමත් වුණා.

විදුම් උපකරණ ආධාරයෙන් කිලෝග්‍රෑම් 2 කට ආසන්න චන්ද්‍ර පාංශු නියැදි ප්‍රමාණයක් එක් රැස් කරගන්නට ලෑන්ඩරය සමත් වුණා. අතිශය විද්‍යාත්මක වැදගත්කමකින් යුතු නියැදි සහිත රොකට් යානය ජූනි 03 වැනි දා චන්ද්‍ර කක්ෂය බලා එසැවුණු අතර ඉන් දින කිහිපයකට පසු පෘථිවිය බලා එන කක්ෂීය යානය සමඟ ඈඳුණා. NASA සඳහන් කරන පරිදි චන්ද්‍ර පාෂාණ සහිත කැප්සියුලය දරා සිටි කක්ෂීය යානය පෘථිවිය බලා ආපසු ගමන ආරම්භ කර ඇත්තේ පසුගිය ජූනි 21 වැනි දා හෝ එයට ආසන්න දිනක විය හැකියි. (චීනය අභ්‍යවකාශ නියෝජිත ආයතනය සිය මෙහෙයුමේ ඉදිරි පියවර ගැන ප්‍රසිද්ධියට පත් කර තිබුණේ සීමා සහිත තොරතුරු කිහිපයක් පමණයි.)

චන්ද්‍රයා මතින් පස් සාම්පල රැගෙන ආ එක ම මෙහෙයුම චීනයේ Chang’e 6 නොවෙයි. සෝවියට් සමූහාණ්ඩුව, ඇමරිකාව මෙන් ම චීනය 2020 වසරේ දී Chang’e 5 මෙහෙයුම ඔස්සේ ද චන්ද්‍ර පාෂාණ පොළොව වෙත ගෙනැවිත් තිබෙනවා. නමුත් ඒ සියල්ල චන්ද්‍රයාගේ අපට පෙනෙන පැත්තේ සිට එක් කරගත් සාම්පලයි. ඒ අනුව චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තෙන් පාෂාණ සාම්පල රැගෙන ආ පළමු වැනි මෙහෙයුම ලෙස චීනයේ Chang’e 6 ඉතිහාසයට එක් වනවා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications