භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් නාසි යටතේ පැවැති ජර්මනිය න්‍යෂ්ටික ශක්තිය උකහාගනිමින් පරමාණු බෝම්බ නිපදවීමට ඉඩ තිබෙන බව දන්වමින් එවක ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වෙත අනතුරු අඟවමින් යවන ලද හසුනේ සත්‍ය පිටපතක් ලබන සැප්තැම්බරයේ ඩොලර් මිලියන 4ක ඇස්තමේන්තු ගත මුදලකට වෙන්දේසි වීමට නියමිත ව තිබෙනවා. ඒ සුප්‍රසිද්ධ Christie’s වෙන්දේසි සමාගම හරහායි.
නිව් යෝකයේ ලෝංග් අයිලන්ඩ්හි වෙරළ තීරයකට යාබද ව පිහිටි කුටියක කාලය ගතකරමින් සිටි ලෝ සුපතල සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයා මේ හසුන සම්පාදනය කර ඇත්තේ තවත් සහෘද භෞතික විද්‍යාඥයෙකු වූ ලියෝ සිලාර්ඩ්ගේ ද සහාය ඇති වයි. ජර්මානු රජය න්‍යෂ්ටික ශක්තිය පිළිබඳ ව සිදු කෙරෙන පර්යේෂණ සඳහා ක්‍රියාෂීලී ව දායකත්වය ලබා දෙන බවත්, එහි ප්‍රතිඵලය ලෙස “අතිශය බලසම්පන්න බෝම්බ” නිපදවීමට ඉඩ තිබෙන බවත් ඉන් ජනාධිපතිවරයා වෙත දන්වා යැවුණා.
ඔහු හසුනෙන් ඉල්ලා සිටියේ මේ උවදුර තුලනය කිරීමට නම් ඇමරිකාව ද එම පියවර ම ගත යුතු බවයි. පසු කලෙක රොබට් ඔ්පන්හයිමර්ගේ නායකත්වය යටතේ ආරම්භ කෙරුණු මෑන්හැටන් ව්‍යාපෘතියට ද දොර විවර කළ විශේෂ කමිටුවක් පත් කිරීමට රූස්වෙල්ට් ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේ මේ හසුනට ප්‍රතිචාර ලෙසයි.
අයින්ස්ටයින් විසින් රූස්වෙල්ට් වෙත යතුරුලියනය කරන ලද හසුනේ මුල් පිටපත තවමත් පවතින්නේ නිව් යෝක්හි හයිඩ් පාක් පිටියේ පිහිටි රූස්වෙල්ට් පුස්තකාලය සතු වයි. නමුත් එම හසුනේ ම දළ සත්‍ය පිටපතක් වැඩි ආරක්ෂාව තකා ලියෝ සිලාර්ඩ් අතට පත් කරන්නට අයින්ස්ටයින් එදින ම කටයුතු කර තිබුණා. වෙන්දේසියට යන්නේ එයයි.
ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කරනු ලැබීමට මාසයකට අඩු කාලයක් තිබිය දී, එනම්, 1939 අගෝස්තු 02 දා ට දින සටහන් වී ඇති හසුන ඇරඹෙන්නේ “මහත්මයාණනි, න්‍යටික භෞතික විද්‍යාවේ මෑත කාලීන පර්යේෂණ මඟින් යුරේනියම් නව බලශක්ති මූලාශ්‍රයක් බවට හැරවිය හැකි බව සොයාගෙන තිබේ” යනුවෙන්.
“විශාල යුරේනියම් ස්කන්ධයක් යොදාගෙන දාම ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට හැකි සම්භාවිතාවක් පවතින අතර, මේ නව සංසිද්ධිය බෝම්බ තැනීමේ දී පෙරමුණ ගැනීමට ද ඉඩ තිබෙනවා.” ලිපියේ සඳහන්.
පසු කලෙක, ජනාධිපති අපේක්ෂකයෙකු ද වූ මැල්කම් ෆෝබ්ස් විසින් සිලාර්ඩ්ගෙන් ශේෂ වූ දේපල අතරින් එම හසුන අත්පත් කරගන්නට සමත් වනවා. මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘවරයා වූ පෝල් ඇලන් විසින් 2002 දී ඩොලර් මිලියන 2.1 ක මුදලක් ගෙවා එය ෆෝබ්ස් වෙතින් තමා සතු කරගන්නවා. වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර ඇති පරිදි එය 20 වැනි සියවසේ රචිත ලේඛන අතුරෙන් ඇමරිකානු ඩොලර් මිලියනයේ වටිනාකම ඉක්ම වූ පළමු වැනි ලේඛනය වන්නේ මෙයයි.
2018 සිදු වූ පෝල් ඇලන්ගේ මරණයෙන් පසු මෑත කාලීන ව ඔහු සතු ව තිබූ වස්තු සම්භාරයෙන් කොටසක් ඩොලර් බිලියන 1.6ක මුදලකට Christie’s සමාගම විසින් මිල දී ගනු ලැබ තිබෙනවා. සැප්තැම්බරයේ සිදු වීමට නියමිත වෙන්දේසිය සඳහා මඟ පෑදෙන්නේ ඒ අනුවයි.
The Guardian සහ Wall Street Journal ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි