Home Science News එන්ජින් පරීක්ෂාවක් අතරතුර චීනයේ Tianlong-3 රොකට්ටුව ඉහළ ඇදී ගොස් කඩා වැටේ

එන්ජින් පරීක්ෂාවක් අතරතුර චීනයේ Tianlong-3 රොකට්ටුව ඉහළ ඇදී ගොස් කඩා වැටේ

by Sathya

පසුගිය ඉරිදා (30) චීනයේ පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ සමාගමකට අයත් රොකට්ටුවක් අනපේක්ෂිත ලෙස ඉහළට ඇදීයාමෙන් පසු කඩා වැටුණා.

Space Pioneer සමාගම විසින් නිෂ්පාදිත Tianlong-3 රොකට්ටුව මෙලෙස අනතුරට ලක් වූ අතර සමාගම සඳහන් කරන්නේ රොකට්ටුව සහ දියත් කිරීමේ වේදිකාව ඇති සම්බන්ධකයේ වූ ව්‍යුහාත්මක අකර්මණ්‍යතාවක් එයට හේතුව වූ බවයි. මෙහි දී රොකට්ටුවේ දියත් කිරීමට සැලසුම් සකස් වී නො තිබූ අතර එහි පළමු අදියරේ එන්ජින්වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරීම සඳහා ‘Static fire’ පරීක්ෂාවක් පමණක් සිදු කිරීමට නියමිත ව පැවතියා.

රොකට්ටුව කඩා වැටුණේ මධ්‍යම චීනයේ Gongyi නගරයේ පිහිටි දියත් කිරීමේ අංගණයට යාබද කඳුකර වනලැහැබක් මතටයි. මූලික පරීක්ෂණ මඟින් තහවුරු කරගෙන ඇති පරිදි එකදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී තිබුණේ නැහැ.

රොකට්ටුවේ සුන්බුන් “ආරක්ෂිත වපසරියක්” තුළ විසිර ගොස් තිබූ බවත්, ගින්නක් ඇති කළ බවත් Gongyiහි හදිසි අවස්ථා කළමනාකරණ බියුරෝව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. වෙනත් කිසිඳු හානියක් සිදු නො වන පරිද්දෙන් ගින්න මැඩ පැවැත්වීමට හැකි වූ බව ද බියුරෝව සඳහන් කළා.

‘ආකාශ මකරා’ යන අරුත ඇති Tianlong-3 රොකට්ටුව Space Pioneer සමාගමේ පරීක්ෂණ මට්ටමේ පවතින රොකට්ටුවක් වන අතර එය අර්ධ වශයෙන් නැවත භාවිතා කිරීමේ හැකියාව ද පවතිනවා.

The Guardian පෙන්වා දෙන්නේ, දියත් කිරීමෙන් පසු රොකට් සුන්බුන් පතිත වීම චීනය තුළ දුලබ දෙයක් නො වුණත්, පරීක්ෂණ මට්ටමේ පවතින රොකට්ටුවක් සැලසුම් නො කළ පියාසැරියක් සිදු කර කඩා වැටීම විරල සිදු වීමක් බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications