Home Science News ආදම්ගේ පාලමේ සුපැහැදිලි ම සිතියම එළිදකියි

ආදම්ගේ පාලමේ සුපැහැදිලි ම සිතියම එළිදකියි

by Sathya

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) විද්‍යාඥයන් විසින් මෙතෙක් කලකට ඉන්දියාවේ ධනුෂ්කොඩියේ සිට ශ්‍රී ලංකාවේ තලේමන්නාරම දක්වා ඇදෙන ආදම්ගේ පාලමේ සවිස්තරාත්මක ම සිතියම ගොඩනඟනු ලැබ තිබෙනවා.

NASA ආයතනයට අයත් ICESat-2 නමින් යුතු චන්ද්‍රිකාවේ සහාය ඇති ව මුහුදු පත්ල වෙත එල්ල කෙරෙන ලේසර් ධාරා මඟින් නිමවාගෙන ඇති මේ සතියම මඟින් ආදම්ගේ පාලම හෙවත් කිලෝමීටර 29ක දිගින් යුත් හුණුගල් වැටියේ 99.98ක් ම ආවරණය වන බවට සැලකෙනවා.

රාමායණ පුවතේ එන පරිදි රාවණගේ දේශය වන ලංකාපුරයේ රඳවාගෙන සිටි සීතා යළි රැගෙන යාමට පැමිණෙන රාමාට පහසුවෙන් මුහුදෙන් එතෙර විය හැකි පරිදි මේ පාලම තනා ඇත්තේ හනුමන්තා ප්‍රමුඛ වානර සේනාවයි.

ISROට අයත් ජෝධ්පූර්හි පිහිටා ඇති ජාතික දුරස්ථ සංවේදන මධ්‍යස්ථානයේ විද්‍යාඥ ගිරිබාබු දණ්ඩාබාතුල (Giribabu Dandabathula) පවසන පරිදි මේ තරම් සංකීර්ණ ලෙස සවිස්තරාත්මක තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි මුල් ම සිතියම මෙයයි. අධ්‍යයනයේ වාර්තාව පසුගිය දා Scientific Reports ජර්නලයේ පළ වී තිබුණා.

වර්තමානය වන විට ජලයෙන් යට වී පවතින මේ වැටිය කලෙක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් පැවති ගොඩබිම් සබඳතාවක් බව භූගෝලීය සාධක යෝජනා කරනවා. ක්‍රිස්තු වර්ෂ 9 වැනි සියවසේ පමණ යාත්‍රා කළ පර්සියානු නාවිකයන් එය හඳුන්වා ඇත්තේ Sethu Bandhai හෙවත් මුහුදට ඉහළින් ඇති පාලම ලෙසයි. තමිල් නාඩුවේ රාමේෂ්වරම් කෝවිලේ ඇති වාර්තාවලට අනුව මුහුදු මට්ටමෙන් ඉහළට ඉස්මතු ව පෙනෙන පරිදි තිබූ පාලම විනාශ වී ගොස් ඇත්තේ 1480 දී හමා ගිය දරුණු සුළි කුණාටුවකින් පසු වයි.

මින් පෙර චන්ද්‍රිකා පාදක නිරීක්ෂණ කටයුතුවලින් මුහුදු මට්ටමෙන් පහළ තිබෙන ව්‍යුහයන් ද හඳුනා ගැනුණත් වැඩි අවධානයක් යොමු ව තිබුණේ ජලයෙන් ඉහළට නිරාවරණය ව පැවති කොටස් වෙතටයි. ඒ අවට මුහුදු කලාපය මීටර්යේ සිට මීටර 10 දක්වා නො ගැඹරු බැවින් නෞකා මඟින් සිදු කෙරෙන සිතියම් ගත කිරීම් යෝග්‍ය වුණේ නැහැ.

ICESat-2 චන්ද්‍රිකාව මඟින් 2018 සිට 2023 දක්වා ලබා ගැනුණු දත්ත උපයෝගී කරගනිමින් මුහුදු මට්ටමේ සිට මීටර 10ක් ගැඹුරට විහිදී යන පරිදි අධි විභේදනයකින් යුත් සිතියම නිර්මාණය කරන්නට ඉන්දීය විද්‍යාඥයන් කටයුතු කර තිබෙනවා. මෙහි දී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ හුණුගල් වැටියේ සමස්ත දිග ප්‍රමාණය ම මුහුදු පත්ලේ සිට මීටර 8ක් උසට පිහිටන බව සහ ජලයෙන් පිටතට නිරාවරණය වී පවතින්නේ සමස්ත ව්‍යුහයෙන් 0.02% පමණ වන බවයි.

The Telegraph ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications