විශ්වයේ මෙතෙක් නිරීක්ෂණය කරන ලද දීර්ඝතම සහ බලගතුම ගැමා කිරණ පිපිරුම සොයා ගැනීමට තාරකා විද්යාඥයින් සමත් වී තිබෙනවා. සාමාන්ය පිපිරුමකට වඩා බොහෝ සෙයින් වෙනස් වූ මෙම අති දැවැන්ත පිපිරුම, දින 27ක කාලයක් පුරා අඛණ්ඩ ව පැවතීම විද්යාඥයින්ගේ දැඩි මවිතයට හේතු වී ඇත.
GRB 220706A ලෙස නම් කර ඇති මෙම පිපිරුම 2022 ජූලි 06 වන දින පළමුවරට නිරීක්ෂණය කර තිබෙනවා. සාමාන්යයෙන් ගැමා කිරණ පිපිරුමකට පසු ඇතිවන X-කිරණ නිකුත් වීම් දින කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අවසන් වී යනවා. මීට පෙර වාර්තා වී තිබූ දීර්ඝතම පිපිරුම පැවතී තිබුණේ ද දින 6ක පමණ කාලයක්. එහෙත් නව වාර්තා පිහිටුවමින් මෙම අභ්යවකාශ පිපිරුමේ මධ්යය දින 27ක් පුරා සක්රීයව පවතිමින් අඛණ්ඩව කිරණ නිකුත් කර තිබෙනවා. එය පෙර වාර්තාව දින 20කින් පමණ අභිබවා යාමක්.
මෙම පර්යේෂණයට සම්බන්ධ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්යාලයේ පර්යේෂක බෙන්ජමින් ගොම්පර්ට්ස් ප්රකාශ කරන්නේ, සාමාන්යයෙන් මෙවැනි පිපිරුම් ඇතිවන්නේ දැවැන්ත සුපර් නෝවාවකින් හෝ නියුට්රෝන තරු එකිනෙක ගැටීමෙන් වුව ද, මෙතරම් දිගු කාලයක් පුරා එය සක්රීය ව පැවතීමට අවශ්ය බලශක්තිය ලැබුණේ කෙසේ ද යන්න තවමත් අභිරහසක් බවයි. සුපර්නෝවා තත්ත්වයක් මෙහි දී නිරීක්ෂණය වූ නිසා තරුවක් බිඳි වැටී ඇති බව තහවුරු වුව ද, දින 27ක් පුරා නිකුත් වූ අතිශය ප්රබල X-කිරණ පැහැදිලි කිරීමට එය පමණක් ප්රමාණවත් වන්නේ නැහැ.
මේ අසාමාන්ය ක්රියාවලියට හේතුව ලෙස විද්යාඥයින් උපකල්පන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් උපකල්පනයක් වන්නේ අතිශය ප්රබල චුම්භක ක්ෂේත්රයක් සහිත, තත්පරයට වාර 1000ක් පමණ වේගයෙන් භ්රමණය වන ‘මැග්නටාර්’ (Magnetar) නැමැති නියුට්රෝන තරුවක් මෙම පිපිරුම මධ්යයේ ක්රියාත්මක වීමයි. තවත් මතයකින් කියවෙන්නේ සූර්යයා මෙන් 1000 ගුණයක් පමණ විශාල අරයක් සහිත ‘Blue supergiant’ වර්ගයේ දැවැන්ත තරුවක් කඩා වැටීමෙන් මෙම පිපිරුම හටගන්නට ඇති බවයි. තරුව විශාල වන තරමට එය බිඳ වැටීමට ගතවන කාලය ද වැඩි වන අතර, එයින් දිගු කාලීන ශක්ති ප්රභවයක් නිර්මාණය විය හැකි බව විද්යාඥයින් පෙන්වා දෙනවා. මීට අමතර ව අදාළ තරුව විනාශ වීමට පෙර එයින් පිට වූ ඝන ද්රව්ය ස්ථරයන් සමඟ පිපිරුමේ කිරණ දහරාව (GRB jet) ගැටීමෙන් මෙම අසාමාන්ය දීප්තිය සහ කිරණ නිකුත් වීම සිදු වූ බවට ද මතයක් පවතිනවා.
පර්යේෂකයින් පෙන්වා දෙන්නේ පෘථිවියට ආසන්න කක්ෂවල පවතින චන්ද්රිකා මඟින් මෙවැනි අතිශය දීර්ඝ ගැමා කිරණ පිපිරුම් නිරීක්ෂණය කිරීම පහසු කටයුත්තක් නොවන බවයි. පෘථිවිය වටා භ්රමණය වීමේ දී නිරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වීම ඊට හේතුවයි. එහෙත් මෑතක දී අභ්යවකාශගත කරන ලද ‘Einstein Probe’ වැනි නවීන උපකරණ හරහා අනාගතයේ දී මෙවැනි සංකීර්ණ සහ දීර්ඝ අභ්යවකාශ පිපිරුම් පිළිබඳව තවදුරටත් අධ්යයනය කිරීමට විද්යාඥයින් අපේක්ෂා කරනවා. මේ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණ වාර්තාවල මූලික පිටපත් මේ වනවිට ‘arXiv’ හි ප්රකාශයට පත් කර තිබෙනවා.