සැබෑ විශ්වයේ ඇති ඇතැම් ග්‍රහලෝක අතිශයින්ම බියකරුයි. NASA ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය (JWST) මගින් නිරීක්ෂණය කරන ලද ‘TOI-561 b’ නම් සුපිරි-පෘථිවි ගණයට අයත් පිටසක්වළ ග්‍රහලෝකය මීට කදිම උදාහරණයක්. මේ ග්‍රහලෝකය මත කිසිදු ජීවියෙකුට ජීවත් විය නො හැකි තරම් අතිශය ගිනියම් වූ පරිසරයකුයි පවතින්නේ.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 280ක් පමණ දුරින් පිහිටි මෙම පාෂාණමය ග්‍රහලෝකය 2020 වසරේ දී NASAහි TESS අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මුලින් ම සොයා ගනු ලැබුණා. මෙහි ඇති සුවිශේෂ ම ලක්ෂණය වන්නේ තම මව් තරුවට (TOI-561) ඉතා ආසන්නයෙන් පිහිටා ඇති බැවින්, එයට වසරක් සම්පූර්ණ වීමට හෙවත් තරුව වටා එක් වටයක් ගමන් කිරීමට ගත වන්නේ පෘථිවි පැය 11ක් පමණක් වීමයි. එමෙන් ම එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,800ක් පමණ අධිකයි.
මෙම ග්‍රහලෝකයේ ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් ඊට වායුගෝලයක් තිබිය නොහැකි බවට තාරකා විද්‍යාඥයින් මුලින් විශ්වාස කළා. නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් පැය 37ක් පුරා කරන ලද නිරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, මෙම ග්‍රහලෝකය වාෂ්ප වූ සිලිකේට් ඛනිජවලින් එනම්, වැලි සහ ක්වාර්ට්ස් සෑදෙන සංයෝගවලින් සැදුණු ඝන, පරාවර්තන වලාකුළු වියනකින් වැසී ඇති බවයි.
කැනඩාවේ වෝටර්ලූ විශ්වවිද්‍යාලයේ පර්යේෂක ලීසා ඩෑන්ග් ප්‍රකාශ කරන්නේ, මෙම ග්‍රහලෝකය ඊට පතිත වන හිරු එළියෙන් 75%ක් පමණ ආපසු අභ්‍යවකාශයට පරාවර්තනය කරන බවයි. මෙය සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම පරාවර්තනයක් සහිත සිකුරු ග්‍රහයාට සමාන තත්ත්වයක්. මෙම සිලිකේට් වලාකුළු සූර්ය ආවරණයක් ලෙස ක්‍රියා කරමින් මෙහි වායුගෝලය ආරක්ෂා කර ගන්නා බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.
මෙම ග්‍රහලෝකයේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ, එය භ්‍රමණය නොවීම හේතුවෙන් එහි එක් පැත්තක් නිරන්තරයෙන් ම මව් තරුව දෙසට හැරී තිබීම නිසා සදාතනික අධික උණුසුම් දහවල් කාලයට සහ අනෙක් පැත්ත සදාකාලිකවම අඳුරේ සදාතනික සිසිලසක පැවතීමයි. කෙසේ වෙතත්, මෙම ග්‍රහලෝකයේ වායුගෝලය කුමකින් සමන්විත ද යන්න තවමත් හරියට ම තහවුරු වී නැහැ. එය සිකුරු ග්‍රහයා මෙන් ඝන කාබන් ඩයොක්සයිඩ්වලින් හෝ බ්‍රහස්පතිගේ ‘අයෝ’ චන්ද්‍රයා මෙන් සල්ෆර් ඩයොක්සයිඩ්වලින් සමන්විත විය හැකි බවට අනුමාන කෙරෙනවා.
මෙතරම් අධික උෂ්ණත්වයක් යටතේ වුවත් වසර බිලියන ගණනක් පුරා මෙම ග්‍රහලෝකය සිය වායුගෝලය රඳවාගෙන සිටින්නේ කෙසේ ද යන්න පිළිබඳව ඉදිරියේදී දිගු තරංග ආයාම ඔස්සේ ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිතයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා. මේ නවතම පර්යේෂණ වාර්තාව The Astronomical Journalහි පසුගිය දා පළ වී තිබුණා.