Home Science News අන්තර්ජාලයෙන් 70% කට බලපාන දෝෂයක් AI හරහා සොයාගැනීමත් සමඟ ලොව පුරා වෙබ් අඩවි රැසක් අක්‍රිය වෙයි

අන්තර්ජාලයෙන් 70% කට බලපාන දෝෂයක් AI හරහා සොයාගැනීමත් සමඟ ලොව පුරා වෙබ් අඩවි රැසක් අක්‍රිය වෙයි

by Sathya

කෘත්‍රිම බුද්ධිය මඟින් අන්තර්ජාලයෙන් 70% කට පමණ බලපෑම් කළ හැකි ඉතා අවදානම් සහගත දෝෂයන් කිහිපයක් සොයා ගැනීමෙන් පසු, ඒවා නිවැරැදි කිරීම සඳහා ලොව පුරා රජයේ සහ සමාගම් වෙබ් අඩවි රැසක් පසුගිය බදාදා දින සිට තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම දෝෂයන් සොයාගෙන ඇත්තේ OpenAI ආයතනය, Google සමාගමට අයත් සයිබර් ආරක්ෂක සමාගමක් වන Wiz, සහ Calif නම් තවත් සයිබර් ආරක්ෂක සමාගමක පර්යේෂණ කණ්ඩායම් විසිනුයි. PHP2Shell ලෙස පොදුවේ නම් කර ඇති මෙම දෝෂයන් හරහා හැකර්වරුන්ට පද්ධති තුළට ඇතුළු වී කේත ක්‍රියාත්මක කිරීමටත්, මුරපද වැනි ඉතා සංවේදී තොරතුරු ඇතුළත් දත්ත කියවීමටත් අවස්ථාව ලැබෙනවා.

මෙම සොයාගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. පර්යේෂකයන්ට අනුව, AI තාක්ෂණය හේතුවෙන් යෙදුම් (apps) රැසක් පුරා සයිබර් ආරක්ෂණ කටයුතු පැය කිහිපයකින් සිදු කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

මේ සඳහා පර්යේෂකයන් විසින් Google හි Gemini 4 Argon, Wiz Atlas සහ OpenAI හි GPT-5.6 Sol යන AI මෙවලම් භාවිත කර තිබෙනවා. “ඉහළ පෙළේ AI ආකෘති සහ නිවැරදි මෙවලම් සමඟින්, ලෝක මට්ටමේ විශේෂඥ කණ්ඩායමකට මාස ගණනාවක් ගතවන කාර්යයක් එක් පර්යේෂකයෙකුට සතියක් තුළ නිම කිරීමට හැකි විය” යනුවෙන් Wiz පර්යේෂකයන් බ්ලොග් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. AI තාක්ෂණයේ දියුණුවත් සමඟ සයිබර් ප්‍රහාරයන් වඩාත් ප්‍රබල විය හැකි බවට වොෂින්ටනයේ සිට සිලිකන් නිම්නය දක්වාම කනස්සල්ලක් මතු වී ඇති පසුබිමක මෙම අනාවරණය සිදුවීම විශේෂත්වයක්.

මෙම දෝෂයන් ඉකුත් අගෝස්තු මස අගභාගයේ දී සොයා ගන්නා ලද නමුත්, ඊට නිසි විසඳුමක් (patch) ලබා දීමෙන් පසුව පසුගිය බදාදා එය මහජනතාවට ප්‍රකාශයට පත් කර තිබුණා. මෙම දෝෂයට කේන්ද්‍ර වී ඇති PHP කේතන භාෂාව (PHP programming language) පිටුපස සිටින ආයතනය වන PHP Foundation විසින් මේ සඳහා යාවත්කාලීන කිරීමක් නිකුත් කර ඇති අතර, වහා ම තම පද්ධති යාවත්කාලීන කරන ලෙස වෙබ් අඩවි ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

Cloudflare ආයතනය පෙන්වා දෙන්නේ මෙම දෝෂ මඟින් ප්‍රහාරකයන්ට දුරස්ථ ව කේත ක්‍රියාත්මක කිරීමට, සේවාවන්ට බාධා කිරීමට සහ පාරිභෝගික දත්ත හෙළිදරව් කිරීමට ඉඩ සැලසිය හැකි බවයි. මෙම තත්ත්වය මත වහා ම තම පද්ධති යාවත්කාලීන කරන ලෙසත්, එසේ කිරීමට නො හැකි නම් ඒවා අක්‍රිය කර තබන ලෙසත් අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) එරට ආයතනවලින් දැඩි ව ඉල්ලා සිටියා.

රොයිටර් පුවත් සේවයට අනුව, මෙම අනාවරණයත් සමඟ යුරෝපයේ සමහර රජයේ වෙබ් අඩවි ඔවුන්ගේ පද්ධති ආරක්ෂිත ව යාවත්කාලීන කිරීම සඳහා මෙලෙස තාවකාලික ව අක්‍රිය කර තිබෙන අතර ඇතම් වෙබ් අඩවි ඉන් අනතුරුව යළි සක්‍රීය තත්ත්වයට පත් කර තිබෙනවා.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications