NASA ආයතනය විසින් වසර 22 කට පෙර උඩුගුවන් ගත කරන ලද ප්‍රකට ‘ස්විෆ්ට්’ (Swift) අභ්‍යවකාශ දුරේක්ෂය ඊයේ සිය මෙහෙයුම් නිමා කරමින් පෘථිවි වායුගෝලයට ඇතුළු වී විනාශ වී ගියා. එක්සත් ජනපද අභ්‍යවකාශ බලකායේ දත්ත පදනම් කරගනිමින් චන්ද්‍රිකා නිරීක්ෂක ජොනතන් මැක්ඩොවෙල් සඳහන් කළේ, කිලෝග්‍රෑම් 1,450 ක පමණ බරින් යුත් මෙම දුරේක්ෂය උතුරු සුමාත්‍රා ප්‍රදේශයට ඉහළින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බවයි. කුඩා බස් රථයක ප්‍රමාණයෙන් යුත් ස්විෆ්ට් දුරේක්ෂයේ වැඩි කොටසක් වායුගෝලයට ඇතුළු වීමේ දී ඇති වූ අධික තාපය නිසා ගිනිගෙන විනාශ වන්නට ඇති අතර, එහි ඉතිරි කොටස්වලින් පෘථිවියේ කිසිවෙකුට හෝ හානියක් සිදුවීමේ සම්භාවිතාව 2,100 න් 1 ක් තරම් ඉතා අවම මට්ටමක පැවති බව NASA විද්‍යාඥයන් සඳහන් කර තිබුණා.
විශ්වයේ සිදුවන ප්රබලතම ස්පෝටන වර්ගයක් වන ගැමා කිරණ පිපිරීම් (Gamma-Ray Bursts) පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා Swift Gamma-Ray Burst Explorer නමින් 2004 වසරේ නොවැම්බර් මාසයේ දී මෙම අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අභ්‍යවකාශගත කෙරුණා. මුලින් වසර දෙකක ප්‍රාථමික මෙහෙයුම් කාලයක් සඳහා සැලසුම් කර තිබුණ ද, වසර 20 කට ආසන්න දීර්ඝ කාලයක් අඛණ්ඩ ව විශ්වය පිළිබඳ වැදගත් දත්ත රැස්කිරීමට ස්විෆ්ට් සමත් වුණා. 2018 වසරේ දී මෙම දුරේක්ෂය එහි පළමු ප්‍රධාන පර්යේෂකයා වූ නීල් ගෙහ්රෙල්ස් වෙනුවෙන් ‘නීල් ගෙහ්රෙල්ස් ස්විෆ්ට් නිරීක්ෂණාගාරය’ (Neil Gehrels Swift Observatory) ලෙස නැවත නම් කෙරුණා. සිය මෙහෙයුම් කාලය තුළ ගැමා කිරණ පිපිරීම් 2,000 කට වැඩි ප්‍රමාණයක් සහ සුපර්නෝවා පිපිරීම් 1,400 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට මෙම අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වුණා.
වායුගෝලීය ඝර්ෂණය හේතුවෙන් කක්ෂයෙන් පහතට ඇදී එමින් පැවති දුරේක්ෂයේ කක්ෂය ඉහළ නැංවීම සඳහා NASA ආයතනය 2025 වසරේ දී Katalyst Space නමැති පෞද්ගලික සමාගම සමඟ ඩොලර් මිලියන 30 ක ගිවිසුමකට එළැඹුණු අතර, එම සමාගම විසින් ‘LINK’ නමැති රොබෝ අභ්‍යවකාශ යානයක් ගගනගත කර දුරේක්ෂයේ ආයු කාලය දීර්ඝ කිරීමට උත්සාහ කළ ද, එහි ධාවන පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් එම අභ්‍යවකාශ අලුත්වැඩියා මෙහෙයුම අසාර්ථක යුණා. මෙම අසාර්ථක වීමත් සමඟ ස්විෆ්ට් දුරෙක්ෂය පසුගිය ඔක්තෝබර් 20 වන දින සිය අවසාන විද්‍යාත්මක නිරීක්ෂණය සිදුකළ අතර, ඊයේ මෙලෙස පෘථිවි වායුගෝලයට ඇතුළු වී සිය ඓතිහාසික අභ්‍යවකාශ ගමන නිමා කළා.