Home Science News ලොව ප්‍රථම හයිඩ්‍රජන් ධාවන මඟී යාත්‍රාව ළඟ දී ම ප්‍රවාහන සේවය අරඹයි

ලොව ප්‍රථම හයිඩ්‍රජන් ධාවන මඟී යාත්‍රාව ළඟ දී ම ප්‍රවාහන සේවය අරඹයි

by Sathya

ලොව ප්‍රථම හයිඩ්‍රජන් ධාවන වාණිජ්‍ය මගී ප්‍රවාහන යාත්‍රාව සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ආශ්‍රිත ව මගී ප්‍රවාහනය සඳහා සැදී පැහැදී සිටිනවා. කැලිෆෝනියා බලධාරීන් සඳහන් කරන පරිදි එය ඩීසල් ධාවන යාත්‍රා මත රඳා පැවතීම අවම කරමින්, තිරසර සංවර්ධනය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක්.

මගීන් 75 දෙනෙකු ප්‍රවාහනය කළ හැකි MV Sea Change නම් වූ මේ යාත්‍රාව දිගින් අඩි 70ක් පමණ වනවා. එය Bay Ship and Yacht සහ All-American Marine සමාගම් විසින් නිපදවනු ලැබ තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබුණේ SWITCH Maritime සමාගමයි. එක් ඉන්ධන වාරයකින් නාවික සැතපුම් 300ක උපරිම දුරක් යාත්‍රා කළ හැකි එයට පැය 16ක කාලයක් නො නවත්වා සේවයේ නිරත විය හැකියි.

බෝට්ටුවේ ජව සැපයුම පිටුපස ඇත්තේ උනන්දුව වඩවන තාක්ෂණයක්. එහි ඇති ඉන්ධන කෝෂ මඟින් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් විද්‍යුත්රසායනික ප්‍රතික්‍රියාවකින් එකට සංයෝග කෙරෙනවා. අතුරු ඵලය ලෙස පිට වන්නේ ජලයයි. එනිසා පරිසරයට අහිතකර විෂ දුමාරයක් වායුගෝලයට මුසු වන්නේ නැහැ.

ලොව සිදු වන හරිතාගාර වායු විමෝචනයෙන් 3%කට ම වගකිව යුතු වන්නේ සාගර ප්‍රවාහනය බව සැලකෙනවා. මෙවැනි හයිඩ්‍රජන් ජව සැපයුම් සහිත යාත්‍රාවලින් ලැබෙන වාසිය නම් හරිතාගාර වායූන්ගේ විමෝචනය අඩු කිරීමට දායක වීම මෙන් ම වායු දූෂක පරිසරයට එක් නො කිරීමයි. එසේ ම එවැනි ව්‍යාපෘති සඳහා වැය වන්නේ සාපේක්ෂ ව අඩු පිරිවැයක් බව දැක්වෙනවා. මේ ඔස්සේ රැකියා වෙළෙඳපොළ ද පුළුල් වීම තවත් වාසියක් බව බලධාරීන් පෙන්වා දෙනවා.

මේ යාත්‍රාව මගින් කෙරෙන ප්‍රවාහන සේවය එලැඹෙන ජූලි 19 දා ඇරඹීමට නියමිත අතර එය තවමත් නියමු වැඩසටහනක් ලෙස පවතින බැවින්, ඉදිරි මාස 6ක කාලය තුළ සම්පූර්ණයෙන් නොමිලයේ සේවය සපයනු ඇති. සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ආශ්‍රිත ජලජ හදිසි ප්‍රවාහන අධිකාරියේ සභාපති Jim Wunderman සඳහන් කරන්නේ, මේ යාත්‍රාව තවත් මෙවැනි ම ව්‍යාපෘති ගණනාවක ආරම්භය විය හැකි නිසා ඉන් ඇති වන උත්තේජනය අනුපමේය බවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications