Home Science News නිසල මුහුදේ පිහිටා ඇති ගුහාවක් හඳුනා ගැනේ

නිසල මුහුදේ පිහිටා ඇති ගුහාවක් හඳුනා ගැනේ

by Sathya

නීල් ආම්ස්ට්‍රෝංග් සහ ‘බස්’ ඕල්ඩ්‍රින් අදින් වසර 55කට පෙර සඳ මතට ගොඩබට නිසල මුහුදේ ම පිහිටි ගුහාවක් බව හඳුනාගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මේ බව තහවුරු කර ගැනීමත් සමඟ අනාගත චන්ද්‍රගාමීන්ගේ වාසස්ථාන සහ ජනපද ඉදි කිරීම් සඳහා ඉඩ සලසා දෙන තවත් එවැනි ලෙන් සිය ගණනක් ඒ අවට තිබිය හැකි බවට සැක පළ වෙමින් තිබෙනවා.

Apollo 11 ඊගල් චන්ද්‍ර යානය ගොඩ බැසීම සිදු කළ ස්ථානයේ සිට කිලෝමීටර 400ක් නුදුරින් පිහිටන මේ ලෙන ගැන ඉකුත් දා වාර්තා පළ වුණේ ඉතාලි ජාතික ග්‍රහ විද්‍යාඥයන් පිරිසක් විසින්. ඔවුන් සඳහන් කළේ සඳේ දැනට හඳුනාගෙන ඇති ගැඹුරුත ම වළේ සිට ප්‍රෙව්ශ විය හැකි මාර්ගයක් මේ ඉඩ කඩ ඇති ලෙන හා සම්බන්ධ වන බවයි. ලාවා නල බිඳී යාමෙන් මෙවැනි වළවල් තැනී ඇති බව විශ්වාස කෙරෙනවා. ගුහවට ප්‍රෙව්ශය සපයන වළට සමාන තවත් වළවල් 200ක් පමණ හඳුනා ගන්නට ද විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

NASA ආයතනයේ Lunar Reconnaissance Orbiter කක්ෂගත යානය මඟින් ලබාගත් රේඩාර් දත්ත විශ්ලේෂණය කළ පර්යේෂකයන් එහි ප්‍රතිඵල පෘථිවියේ ඇති ලාවා නල සමඟ සසඳා බැලුවා. ඉකුත් දා ඔවුන්ගේ අධ්‍යයන වාර්තාව පළ වී තිබුණේ Nature Astronomy ජර්නලයේයි.

විද්‍යාඥයන් පවසන පරිදි රේඩාර් දත්ත මඟින් අනාවරණය කරගත හැකි ව තිබුණේ මේ භූගත කුහරයේ ආරම්භක කොටස පමණයි. එය අවම තරමේ මීටර 40ක පළලකින් මෙන් ම, මීටර දහයට වැඩි දිගකින් යුතු විය හැකි බව ඔවුන් සඳහන් කරනවා.

“චන්ද්‍ර ගුහා වසර 50කට අධික කාලයක් පැවතියේ අබිරහසක් ලෙසයි. අවසානයේ ඒවායේ පැවැත්ම තහවුරු කිරීමට හැකි වීම සතුටට කරුණක්.” අධ්‍යයනය මෙහෙයවූ ඉතාලියේ Trento විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් වන Leonardo Carrer සහLorenzo Bruzzone සඳහන් කරනවා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications