ඉකුත් දිනක නවසීලන්තයේ වෙරළකට ගොඩගසා තිබූ තල්මහ සිරුරක් ලොව දුර්ලභ ම සිටේෂිටානු (Cetacean) විශේෂයට අයත් සාමාජිකයෙකුගේ විය හැකි බවට සැක කෙරෙනවා. ඔවුන් කෙතරම් දුලබ විශේෂයක් දැ යි පැවසුවහොත්, කිසිවකු ඔවුන් පණ පිටින් සිටිය දී නිරීක්ෂණය කර නැහැ.
නවසීලන්තයේ දක්ෂිණ දූපතේ පිහිටි Taieri Mouth ගම්මානයේ වෙරළට ගොඩගසා තිබූ තල්මහ දේහය මිනිසුන්ගේ ඇස ගැටී තිබුණේ ඉකුත් ජූලි 04 වැනි දායි. එය මීටර 5ක (අඩි 16.5) දිගකින් යුතු වුණා. එරට සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී විශේෂඥයන් විසින් එම සිරුර සිය භාරයට ගැනුණු අතර, වැඩිදුර විෂ්ලේෂණ සඳහා DNA සාම්පල ලබාගෙන Auckland විශ්වවිද්‍යාලය වෙත යවා තිබෙනවා.
එරට සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් විශ්වාස කරන්නේ මෙය අතිශය දුර්ලභ spade-toothed තල්මහෙකුට (Mesoplodon traversii) අයත් මෘත දේහයක් බවට සැක කෙරෙන බවයි. කෙසේ නමුත් මේ බව තහවුරු කරගත හැක්කේ තවත් මාස කිහිපයක් ගත වනු ඇති බවට අපේක්ෂා කෙරෙන DNA පරීක්ෂණවලින් පසු ව බව ඔවුන් පෙන්වා දෙනවා. මේ වන විට තල්මහ සිරුර ආරක්ෂීත ව ශීතකරණයක තැන්පත් කර තිබෙනවා.
M. traversii තල්මහගෙන් දිස් වන්නේ තල්මහ සහ ඩොල්ෆින් අතර මිශ්‍ර වූ පෙනුමක්. ඔවුන් beaked whales ලෙස හැඳින්වෙන මුහුදේ වැඩි ම ගැඹුරක සැරිසරන ක්ෂීරපායී සතුන් කණ්ඩායමට අයත් වනවා. මෙවැනි තල්මහ විශේෂ ගැන තොරතුරු අල්ප වන්නේ ඔවුන් ගැඹුරු සාගරයේ ගැවසීම ප්‍රිය කරන බැවිනුයි.
ගොඩගැසූ සිරුර M. traversii සතෙකුට අයත් බව තහවුරු කර ගැනුණහොත් එය වසර 150ක කාලයක් තුළ හමු වූ එම විශේෂයට අයත් සය වැනි නිදශකය බවට පත් වනු ඇති.
මේ විශේෂයට අයත් තල්මහෙකු ජීවග්‍රහයෙන් නිරීක්ෂණය කීරීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නැහැ.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්