Home Science News අඟහරු මතින් අතිශය විරල ගෙන්දගම් ස්ඵටික අනාවරණය කර ගැනේ

අඟහරු මතින් අතිශය විරල ගෙන්දගම් ස්ඵටික අනාවරණය කර ගැනේ

by Sathya

මේ වන විටත් අඟහරු ලොව මත සක්‍රිය ව ගමන් කරමින් තිබෙන කියුරියොසිටි රෝවරයට මෙයට පෙර කිසි දිනෙක දැක නො තිබූ ස්ඵටික වර්ගයක් අහම්බයකින් හමු වී තිබෙනවා.

එය සිදු වූයේ පසුගිය මැයි මස 30 වෙනි දින අඟහරු ලොවේ පිහිටි ගේල් ආවාටයේ මැද තිබෙන Mount Sharp නම් කන්දේ ප්‍රපාතාකාර බෑවුම දක්වා විහිදෙන Gedis Vallis නමැති තැනිතලා මාර්ගය ගවේෂණය කරන විටයි.

කියුරියොසිටි රෝවරයේ ටයරයන් අනපේක්ෂිත අයුරින් කුඩා පාෂාණයක් උඩින් යාමේ දී එය කැබලිවලට කැඩී ගොස් තිබුණා. එවිට නිරාවරණය වූ පාෂාණයේ ඇතුළත කොටස්වලින් අසාමාන්‍ය ලෙස කහපාට ස්ඵටික රාශියක් දැක ගැනීමට විද්‍යාඥයින්‍ට හැකි ව තිබුණා.

ඉන්පසු ව රෝවරය මඟින් ආසන්නයේ ඇති තවත් පාෂාණයක් හෑරීමෙන් පසු එම ස්ඵටික පිරිසිදු ගෙන්දගම් බව අනාවරණය කරගෙන තිබෙනවා. මෙයට පෙර අඟහරු ලොව මත ගෙන්දගම් හඳුනාගෙන තිබුණ ද එසේ හමුවූයේ සංශුද්ධ ගෙන්දගම් (සල්ෆර්) නො ව වෙනත් මූලද්‍රව්‍ය සමග සංයෝජනය වී සල්ෆේට ලෙස පවතින ගෙන්දගම් පමණයි.

ඒ අනුව මේ දක්වා අඟහරු ලොව මත මූලද්‍රව්‍යයක් ලෙස සංශුද්ධ තත්වයේ පවතින ගෙන්දගම් කිසි ම විටෙක හමු වී තිබුණෙ නැහැ. එහෙත් අඟහරු ලොව මත කොහේ හෝ මූලද්‍රව්‍යමය ගෙන්දගම් තිබිය හැකි බවට විද්‍යාඥයින් සැක පහළ කර තිබුණ ද මෙසේ සල්ෆේට් පාෂාණ තුළින් සංශුද්ධ සල්ෆර් (ගෙන්දගම්) හමු වීම ඔවුන්ගේ මවිතයට හේතු වී තිබෙනවා.

ඒ අනුව ආසන්නයේ ඇති පාෂාණ තුළ ද ගෙන්දගම් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරනවා.

පිරිසිදු ගෙන්දගම්වලින් පිරුණු පාෂාණ ඇති බිමක් අඟහරු ලොව මත සොයාගැනීම කාන්තාරයක ක්ෂේම භූමියක් හමු වීමට සමාන බව නාසා ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ (JPL) කියුරියොසිටි රෝවර ව්‍යාපෘති විද්‍යාඥ Ashwin R. Vasavada සඳහන් කරනවා.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications