Home Science News අඟහරු තරණයේ දී රැගෙන යන ඖෂධ කල් ඉකුත් වීමේ අවදානමක්

අඟහරු තරණයේ දී රැගෙන යන ඖෂධ කල් ඉකුත් වීමේ අවදානමක්

by Sathya

අඟහරු වෙත සිදු වන නියමු මෙහෙයුම් ගැන සලකා බැලීමේ දී අභ්‍යවකාශගාමීන් හට මුහුණ දීමය සිදු විය හැකි උවදුරුවල අඩුවක් නැහැ. එය සූර්ය විකිරණයේ සිට අඟහරු මත අකාරුණික පාරිසරික සාධක දක්වා විවිධ විය හැකියි. ඒ සියල්ලට අමතර ව තවත් ගැටලුවක් පැන නඟින බව පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා. එනම්, අභ්‍යවකාශගාමීන් අඟහරු තරණ ගමනේ දී රැගෙන යන බොහෝ ඖෂධ, ආපසු පෘථිවිය වෙතට ඒමට පෙර කල් ඉකුත් වීමයි.

පර්යේෂකයන් පවසන්නේ අභ්‍යවකාශයේ දී භාවිතය සඳහා නිපදවා ඇති බොහෝ ඖෂධවල ගබඩා කාලය වසර 3 කට හෝ ඊට අඩු බවයි. NASA ඇස්තමේන්තුවලට අනුව අඟහරු වෙත ළඟා වීමට ම මාස 36ක්, (වසර 3 ක්) ගත වන නිසා ඇතැම් විට ආපසු ගමනේ දී ම හෝ අඟහරු මත දී ම වුවත් කල් ඉකුත් වූ ඖෂධවල අඩුව දැනෙන්නට ඉඩ තිබෙනවා.

මේ අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු වන Duke University School of Medicine වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය Dan Buckland සඳහන් කරන්නේ පෘථිවිය මත දී කල් ඉකුත් වූ ඖෂධවල ඵලදායීතාව අඩු වන නමුත් ඒ කෙසේ ද යන්න සහා ඉන් වන හානිය පුරෝකථනය කළ නො හැකි බවයි.

“මෙතැන තියෙන අවදානම තමයි අඟහරු මෙහෙයුමක පසු කාලීන ව හටගන්නා යම් රෝගාබාධයක් මෙහෙයුමේ මුල් කාලයේ එනම් ඖෂධ කල් ඉකුත් වන්නට පෙර සමයේ හටගන්නා රෝගාබාධයකට වඩා බරපතළ තත්ත්වයකට හැරෙන්නට ඉඩ පැවතීම.” ඔහු පෙන්වා දෙනවා.

තොරතුරු දැනගැනීමේ පණත යටතේ (Freedom of Information Act) දැනට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ පාවිච්චියට ගැනෙන ඖෂධ විශාල සංඛ්‍යවක නාමාවලියක් ලබාගන්නට පර්යේෂකයන් කටයුතු කර තිබුණා. අඟහරු ගමන්වලට එක් කෙරෙනු ඇතැ යි නියත වශයෙන් ඖෂධ නම් කිරීමක් සිදු ව නැති බැවින් පර්යේෂකයන් විශ්වාස කරන්නේ අභ්‍යවකාශ නැවතුම්පොළේ තිබෙන ඖෂධ වර්ග ගණනාවක් ම අඟහරු තරණයේ දී වෛද්‍ය කට්ටල පුරවනු ඇති බවයි. එම ඖෂධ 106කින් 89ක් ම මාස තුනක කාලය ඇතුළත කල් ඉකුත් වන බව අධ්‍යයනය පෙන්වා දෙනවා. පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඖෂධවල සඳහන් කල් ඉකුත් වීමේ දින වලංගු වන්නේ මුල් අසුරනයේ තිබෙන විට පමණක් බවයි. ඒවා නැවත ඇසිරීමකට ලක් කර තිබේ නම්, කල් ඉකුත් වීමේ කාල සීමාව තවත් කෙටි වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications