Home Science News අභ්‍යවකාශයෙන් ආ ඔලිම්පික් සුබ පැතුම

අභ්‍යවකාශයෙන් ආ ඔලිම්පික් සුබ පැතුම

by Sathya

ඔලිම්පික් උණුසුම අභ්‍යවකාශයටත් පැතිරී තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දැනට වාසය කරන NASA ගගනගාමීන් 2024 පැරිස් ඔලිම්පික් සමාරම්භය සමරමින් සුබ පැතුම් පිරිනැමුවේ තමන්ගේ ම කියා ‘පුංචි ඔලිම්පික්’ තරගාවලියක් පවත්වමින්. NASA විසින් නිකුත් කරන ලද විනාඩි දෙකක ධාවන කාලයකින් යුතු වීඩියෝ පටයක එය දැක්වෙනවා.

වීඩියෝපටය පටන්ගන්නේ ඔලිම්පික් ගිනි සිළුවකින්. අභ්‍යවකාශ නැවතුම්පොළ තුළ ගින්දර සමඟ සෙල්ලම් කිරීම අතිශය අවදානම් සහගත නිසා මේ සඳහා යොදාගෙන තිබුණේ විදුලි පන්දමකට සෙලෝපේන් කොළ අළවා ගිනි දැල්ලක් ලෙසට සකස් කරගත් ආදේශකයක්. ගගනගාමිනී Jeanette Epps, Mike Barratt, Suni Williams සහ Tracy Caldwell Dyson හා අතිනත යන එය අවසානයේ පසුබිමින් පෘථිවිය පෙනෙන සුවිසල් නිරීක්ෂණාගාරයේ සිටින Butch Wilmore අතට පත් වනවා.

අනතුරු ව මේ ‘ගගනගාමී ක්‍රීඩකයන්’ ක්‍රීඩාවල නිරත වීම සඳහා සූදානම් වනු දැක්වෙනවා. Epps සහ Williams සිය උරහිස් හකුළවමින් ව්‍යායාමයේ නිරත වන අතර Wilmore සිය සිරුර දිගහරිමින් සිය හිස ආසන්නයේ පා වෙමින් පවතින වතුර බිංදුවක් මුවගින් ඇද පානය කරනවා.

ටේප් පටිවලින් සකසා ගත් ‘යගුලියක්’ ද එවැනි ම ආකාරයකින් තනාගත් ‘කවපෙත්තක්’ ද විසිකරමින් ගගනගාමීන් ඔලිම්පික් මලල ක්‍රීඩා අනුකරණය කරනු අනතුරු ව දැක්වෙනවා. මීට අමතර ව තවත් ක්‍රීඩා රැසක් ගගනගාමීනගේ අනුකරණයට ලක් වනු දැකගත හැකියි.

“පහුගිය දවස් කීපයේ ඔලිම්පික් මලල ක්‍රීඩකයන් වගේ හැසිරුණු අපි, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ උඩුයටිකුරු කළා.” වීඩියෝපටය අවසානයේ ගගනගාමී Matthew Dominick සඳහන් කරනවා.

“නියත වශයෙන් ම අපට බර රහිත වීමේ වාසිය ලැබුණා. පෘථිවි ගුරුත්වය යටතේ මෙතරම් අමාරු ක්‍රීඩාවල නිරත වන ලෝක මට්ටමේ මලල ක්‍රීඩකයෙකු වෙන එක මොන තරම් අමාරු ද කියලා අපට හිතාගන්න වත් බෑ. ඉතින් ඔලිම්පික් ක්‍රීඩාවල නිරත සෑම මලල ක්‍රීඩකයෙකුට ම ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ ⁣අ⁣පේ සුබ පැතුම් පිළිගන්වනවා!” ඔහු සඳහන් කරනවා.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications