Home Science News පරිභ්‍රමණ කාලය සියවස් දෙකක් ඉක්මවන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු සොයාගැනේ

පරිභ්‍රමණ කාලය සියවස් දෙකක් ඉක්මවන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු සොයාගැනේ

by Sathya

අසල්වාසී තරුවක් වටා ගමන් කරන ‘සුපිරි බ්‍රහස්පති’ ග්‍රහයෙකු ජේම්ස් වෙබ් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා. Epsilon Indi Ab ලෙස නම් කර ඇති එය සිය මව් තාරකාව වටා පරිභ්‍රමණය වන කක්ෂය ද අතිශය විශාල වපසරියක් පුරා විහිදී පවතින බව සොයාගෙන තිබෙනවා.

මේ ග්‍රහයා විශ්කම්භය අතින් බ්‍රහස්පති ග්‍රහයාට තරමක් සමාන වුවත් එය මෙන් හය ගුණයක ස්කන්ධයකින් යුක්තයි. එහි වායුගෝලය බ්‍රහස්පතිගේ මෙන් හයිඩ්‍රජන් වායුවෙන් අනූනයි.

නමුත් එක් කරුණකින් එය බ්‍රහස්පතිගෙන් සහමුලින් ම වෙනස් වනවා. එනම් එය සිය සූර්යයා වටා යන කක්ෂයයි. සූර්යය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට එය සියවස් දෙකකට අධික කාලයක් වැය කරනවා. විද්‍යාඥයන් පවසන්නේ බොහෝ විට මේ කාලය වසර 250ක් වුවත් වන්නට ඉඩ තිබෙන බවයි. එය මව් තාරකාවේ සිට පිහිටා ඇති දුර, පෘථිවියත් සූර්යයාත් අතර ඇති දුර ප්‍රමාණය මෙන් 15 ගුණයක් වනවා.

ආලෝක වර්ෂ 12ක් ඈතින් තිබෙන මේ ප්‍රදේශය තුළ විශාල ග්‍රහලෝකයක් පැවතිය යුතු බවට කාලයක් තිස්සේ විද්‍යාඥයන් සැක පළ කර තිබුණත්, එය මේ සා ස්කන්ධයකින් යුතු, මේ සා සිය මව් ග්‍රහයාගේ සිට දුරකින් යුතු වනු ඇතැ යි අපේක්ෂා කර නැහැ. ජේම්ස් වෙබ් මඟින් සිදු කළ නවතම නිරීක්ෂණ මඟින් මේ ග්‍රහලෝකය තාරකා තුනකින් යුතු පද්ධතියක Epsilon Indi A ලෙස නම් කර ඇති තාරකාව වටා පරිභ්‍රමණය වන බව ද සොයාගෙන තිබෙනවා.

ජර්මනියේ තාරකා විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ තාරකා භෞතික විද්‍යාඥ Elisabeth Matthewsගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ ඡායාරූප අධ්‍යයනය කෙරුණු අතර එය පසුගිය සතියේ Nature ජර්නලයේ පළ වී තිබුණා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications