Home Science News ජෛව සුරක්ෂිතාගාරයක් තැනිය යුතු ආරක්ෂිත ම ස්ථානය චන්ද්‍රයා බව අධ්‍යයනයකින් යෝජනා කෙරේ

ජෛව සුරක්ෂිතාගාරයක් තැනිය යුතු ආරක්ෂිත ම ස්ථානය චන්ද්‍රයා බව අධ්‍යයනයකින් යෝජනා කෙරේ

by Sathya

වඳ ව යාමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තැබීම සඳහා සඳ මත ජෛව සුරක්ෂිතාගාරයක් තැනීම නුවණට හුරු බව විද්‍යාඥ කණ්ඩායමක් යෝජනා කර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ දේශගුණ විපර්යාසය සහ වාසස්ථාන අහිමි ව යාමේ වේගය මත සත්ත්ව විශේෂ සිය ස්වභාවික වාසභූමි තුළ ම සංරක්ෂණය කිරීම පමණක් සෑහෙන්නේ නැති බවයි. දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින විශේෂවල සංරක්ෂණය කරන ලද සෛල, සහ DNA අනාගතයේ ක්ලෝන තාක්ෂණය ඔස්සේ යළි බිහි කිරීම සඳහා ජෛව සුරක්ෂිතාගාරයක් ඉදි කළ යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.

උවදුරුවලින් ⁣ආරක්ෂා කර ගැනීම සදහා ජෛව සාම්පල සුරක්ෂිතාගාරවල තැන්පත් කිරීම අලුත් අදහසක් නො වෙයි. දැනටමත් ආක්ටික් වෘත්තයේ නෝවේජියානු දූපතක පිහිටා ඇති ‘Svalbard ගෝලීය බීජ සේප්පුව’ එවැන්නකට හොඳ ම උදාහරණයයි. යම් දිනක කුමන හෝ හේතුවක් නිසා ලෝකයේ ආහාර භෝග පරිහානියට පත් වුවහොත් භාවිතයට ගැනීම සඳහා විවිධ විශේෂවලට අයත් බීජ ගණනාවක් මෙහි සංරක්ෂණය කර තිබෙනවා. කෙසේ නමුත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මත මෑතක දී මේ සුරක්ෂිතාගාරය පිහිටි ප්‍රදේශය ගංවතුර තත්ත්වයකින් යට වීමේ ද අවදානමක් පැන නැඟුණු බැවින් මෙවැනි සුරක්ෂිතාගාර පෘථිවිය මත ඉදිකිරීමෙන් ඇතැම් විට ප්‍රයෝජනයක් නොමැති විය හැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යාන සහ සංරක්ෂණය ජෛවවිද්‍යා ආයතනයේ ආචාර්ය Mary Hagedorn පෙන්වා දෙන්නේ Svalbard හි රාජකාරියේ නියුතු මිනිසුන් නො වන්නට ගංවතුරෙන් එය හානියට පත් වන්නට ඉඩ තිබූ බවයි. පොළොවේ ඉදි වන ජෛව සුරක්ෂිතාගාරවලට යුදමය වාතාවරණ ද අකුල් හෙළනවා. 2022 වස⁣රේ දී රුසියානු සේනාංක අතින් යුක්‍රේනයේ පිහිටි බීජ බැංකුව විනාශයට පත් වීම එයට උදාහරණයක්.

“මේ සියල්ල සැලකිල්ලට ගැනීමෙන් පසු පෙනී යන්නේ පෘථිවියේ ⁣ජෛවවිවිධත්වය රැක ගැනීම සඳහා අතිශයෙන් ම ආරක්ෂිත, නිෂ්ක්‍රීය සුරක්ෂිතාගාරයක් ඉදි කිරීම ඉතා හොඳ අදහසක් බවයි.” ඇය පෙන්වා දෙනවා.

BioScience ජර්නලයේ විස්තර කර ඇති පරිදි යෝජිත චන්ද්‍ර ජෛව සුරක්ෂිතාගාරය දේශගුණ ව්‍යසනයන්ගෙන්, භූ දේශපාලන සිදු වීම්වලින් මෙන් ම ග්‍රහක ඝට්ටන වැනි පෘථිවියට පමණක් බලපාන අනෙකුත් උපද්‍රවවලින් සම්පූර්ණයෙන් ම ආරක්ෂිත සහ හුදකලා වනු ඇති.

The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications