Home Science News විශාල මෝරෙක් සංවේදක සවි කෙරුණු තවත් මෝරෙකු ප්‍රථම වතාවට බිලි ගනියි

විශාල මෝරෙක් සංවේදක සවි කෙරුණු තවත් මෝරෙකු ප්‍රථම වතාවට බිලි ගනියි

by Sathya

බර්මියුඩා මුහුදු කලාපයේ පිහිනමින් සිටි විලෝපික මෝරෙකු, උගේ සිරුරේ සිවි කර තිබූ පිහිටුම්කරණ උපාංගය ද සමඟ ම ඊටත් වඩා විශාල මෝරකු විසින් ගොදුරු කරගනු ලැබ තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ මෙය එවැනි ආකාරයේ පළමු වැනි වාර්තාගත සිදු වීම බවයි.

Lamna nasus යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන පොර්බීගල් මෝරුන් අඩි 12ක් පමණ දිගකින් වැඩෙනවා. උන් උතුරු අත්ලාන්තික් සාගරයේ සහ දකුණු අර්ධගෝලයේ අන්ටාක්ටිකාව දක්වා වූ ඇතැම් සාගර කලාපවල ද වාසය කරනවා. ඔවුන් සතු මාංශ පේෂී සහ තියුණු දත් සැකැස්ම ඔවුන් සාගර වාසී දරුණු විලෝපිකයෙකු බවට පත් කර තිබෙනවා. නමුත් පෙනී යන්නේ මේ විලෝපිකයා, විලෝපනයට නම් මුළුමනින් ම ප්‍රතිරෝධී නැති බවයි.

පසුගිය දා Frontiers in Marine Science ජර්නලයේ පළ වූ අධ්‍යයනයකට අනුව විද්‍යාඥයන් සැක කරන්නේ L. nasus ඔවුන්ට වඩා විශාල ශරීරයකින් යුතු මෝර විශාල මෝර නෑයන් අතින් මරණයට පත් වන බවයි. “මේ පෝර්බීගල් මෝරකු තවත් මෝරකු විසින් ගොදුරු කරගැනුණු බවට වාර්තාගත ලොව පළමු වැනි සිදු වීමයි.” එසේ පවසන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා පරිසර ගුණාත්මකතා දෙපාර්තමේන්තුවේ (North Carolina Department of Environmental Quality) සාගර මත්ස්‍ය ජීව විද්‍යාඥවරියක මෙන් ම මෙකි අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය ද වන Brooke Anderson.

ගොදුරට ලක් වූ ගර්භනී පෝර්බීගල් මෝරාට චන්ද්‍රිකා පිහිටුම්කරණ උපාංගය සවි කර තිබුණේ 2020 දීයි. මෙයින් මෝරා සැරිසරන සාගර කලාපය සහ ගැඹුර ආදී වූ වැදගත් දත්ත රැසක් දීර්ඝ කාලීන ව රැස්කර ගැනුණා.

2020 දෙසැම්බරයේ මෙයින් ලබාගත් දත්තවලින් පැවසුණේ මෝරා සුපුරුදු අඩි 328 ගැඹුරේ සිට අඩි 2,600ක් දක්වා වූ ගැඹුරක් දක්වා කිමිදෙමින් සැරිසරන බවයි. නමුත් 2021 මාර්තු 24 වැනි දා වාර්තා වූ ගැඹුරත් සමඟ වාර්තා වූ පරිසර උෂ්ණත්වය ගැළපුණේ නැහැ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 6.4ත් 23.52ත් අතර පැවතිය යුතු උෂ්ණත්වය 16.4ත් 24.72ත් අතර අගයක් වාර්තා වුණා. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේ උෂ්ණත්වය ඉහළ යෑමේ වෙනසට හේතුව විය හැක්කේ සංවේදක උපාංගය තවත් මෝරකුගේ කුස තුළ තැන්මත් ව තිබීම බවයි. සිදු වීම වාර්තා වූ සාගර කලාපය සලකා බලන විට L. nasus මෝරා දඩයම් කළ මෝරා ග්‍රේට් වයිට් මෝරකු (Carcharodon carcharias) හෝ ශෝට්ෆින් මාකෝ (Isurus oxyrhinchus) මෝරකු විය හැකි බව උපකල්පනය කෙරෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications