චීනයේ පිහිටා තිබෙන ලොව විශාලතම තනි රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරිතදිග චීනයේ Guizhou පළාතේ karst ප්‍රදේශයේ පිහිටා ඇති මේ දුරේක්ෂය Five-hundred-meter Aperture Spherical Telescope (FAST) යනුවෙන් හැඳින්වෙන අතර 2020 ජනවාරියේ සිට ක්‍රියාකාරී මට්ටමේ පවතිනවා.
ඉකුත් සැප්තැම්බර් 25 වැනි දා මේ රේඩියෝ දුරේක්ෂ සංකීර්ණයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා. එමඟින් මීටර 40ක විශ්කම්භය සහිත හැරවිය හැකි රේඩියෝ දුරේක්ෂ 24ක් ස්ථාපනය වීමට නියමිතයි. FAST Core Array ලෙස නම් කර ඇති මේ පුළුල්කරණ ව්‍යාපෘතියේ අභිප්‍රාය වන්නේ ප්‍රධාන රේඩියෝ දුරේක්ෂය වටා කිලෝමීටර 5ක අරීය වපසරිය තුළ පවතින විද්‍යුත්චුම්භක තරංගවලින් ‘නිහඬ’ පරිසරය විශ්වයට සවන් දීමේ දී උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම බව චීනයේ මධ්‍යම ටෙලිවිෂන් රූපවාහිනිය (CCTV) වාර්තා කරනවා.
දුරේක්ෂ සංකීර්ණය ඉදිකිරීම සඳහා අදාළ භූමිය තෝරාගනු ලැබ තිබුණේ ද එය මිනිස් වාසයෙන් දුරස්ථ ව ස්වභාවික භූමි ප්‍රෙද්ශයක පිහිටා තිබීම සැලකිල්ලට ගෙනයි. දෙවැනි අදියරේ ඉදිකිරීම්වලින් පසු සේවයට එක් කෙරෙන කුඩා දුරේක්ෂ 24කින් යුතු ජාලයත් සමඟ එහි සිට කෙරෙන නිරීක්ෂණ සහ තරංග ග්‍රහණය කරගැනීමේ හැකියාව වඩාත් ගුණාත්මක තලයක් දක්වා ඔසවා තබන්නට හැකි වනු ඇති බව චීන විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා. ඒ අනුව නව වැඩිදියුණු කිරීම්වලින් ගුරුත්ව තරංග, රේඩියෝ විදාරණ, සුපර්නෝවා පිපුරුම් සහ කළු කුහර ද ඇතුළු බොහෝ විශ්ව සංසිද්ධීන් දෙස වඩාත් ගැඹුරින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙනු ඇති.
2016 වසරේ දී පළමු අදියර ඉදිකිරීම් අවසන් වූ FAST රේඩියෝ දුරේක්ෂය මෙහෙයුම් සඳහා සක්‍රිය ව යොදා ගැනුණේ 2020 සිටයි. මේ වන විට එය ආධාරයෙන් පල්සාර් හෙවත් අධික වේගයකින් කරකැවෙන නියුට්‍රෝන තාරකා 900කට වඩා සොයාගන්නට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබෙනවා.
Space.com ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි