ස්වීඩනයේ විකිරණ ආරක්ෂණ අධිකාරිය (Swedish Radiation Safety Authority) විසින් එරට බිම්මල් නෙළන ගොවීන් හට සිය අස්වැන්නෙන් නියැදි කිහිපයක් පරීක්ෂණ සඳහා ලබා දෙන මෙන් ඉල්ලා තිබෙනවා. ඒ වසර 38කට පෙර සෝවියට් දේශයේ සිදු වූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපුරුම හේතුවෙන් පතිත වූ විකිරණශීලී කොටස්වල බලපෑම අද වන විට කුමන තත්ත්වයක තිබේ ද යන්න පරීක්ෂා කර බැලීමටයි.
මෙහි දී බිම්මල්වල ඇති සීසයම්-137 සමස්ථානිකයේ අගය මැන බැලෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වර්ථමානයේ යුක්‍රේන දේශසීමාවට අයත් චර්නොබිල්හි Vladimir Ilyich Lenin න්‍යෂ්ටික බලාගාරයේ හතරවැනි ප්‍රතික්‍රියාකාරකය පිපිරී යාමෙන් හටගත් ඛේදවාචකය 31 දෙනෙකුට ක්ෂණික මරණයකුත්, තවත් දහස් ගණනකට දිගු කාලීන මරණයකුත් හිමිකර දී තිබුණා. ඉන් සුළං ප්‍රවාහයට එක් වූ විකිරණශීලී ද්‍රව්‍ය යුරෝපය පුරා ම පාහේ ව්‍යාප්ත වුණා. මේ නිසා චර්නොබිල් අනතුරේ සැබෑ ම මරණ සංඛ්‍යාව අන්තිම පුද්ගලයා දක්වා නිවැරැදි ව ගණනය කිරීම කළ නො හැක්කක්.
ඉන් වායුගෝලයට එක් වූ විකිරණශීලී ද්‍රව්‍ය අතර ප්‍රමුඛස්ථානයක් ගත් සීසියම් (Cesium) වසර 30ක් ගත වී යාමෙන් අනතුරුවත් නො නැසී පැවතිනු නිරීක්ෂණය වී තිබෙනවා. එය දීර්ඝ කාලීන සෞඛ්‍යයට අහිතකර විය හැකියි.
2024 වසරේ මේ කන්නයේ දී නෙළාගනු ලබන නැවුම් හතුවලින් ග්‍රෑම් 100ක නියැදියක් හෝ වියළන ලද හතුවලින් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් හෝ ලබා දෙන ලෙසයි එරට විකිරණ ආරක්ෂණ අධිකාරයි ඉල්ලා සිටින්නේ.
සෞන්දර්ය සෙනරත්