Comb jellies ලෙස හැඳින්වෙන ගැඹුරු සාගර වාසී සතුන් දෙදෙනෙකු තුවාල වූ විට දී එකිනෙකා හා සම්බන්ධ වී තනි ජීවියෙකු බවට පත් වන බව සොයාගෙන තිබෙනවා. මේ බව දැක්වෙන අධ්යයනයේ සඳහන් වන පරිදි මෙලෙස එක් සතෙකු බවට පත් වූ පසු සතුන් දෙදෙනාගේ ආමාශය සහ ස්නායු පද්ධතිය ද එකිනෙක ඈඳී තනි පද්ධතියක් බවට පත් වන බවයි. පර්යේෂකයන් සඳහන් කරන්නේ මෙවැනි අනුවර්තන හැකියාවක් මින් පෙර කිසිඳු ජීව විශේෂයකින් නිරීක්ෂණය වී නොමැති බවයි.
පර්යේෂකයන් මේ සංසිද්ධිය සොයාගෙන තිබෙන්නේ විද්යාගාරයක සිටි ජෙලි සතුන් දෙදෙනෙකු තනි ජීවියෙකු බවට පත් වනු අහම්බෙන් මෙන් දර්ශනය වීමත් සමඟයි.
“මම විමතියට පත් වුණා.” අධ්යයනයේ ප්රධාන කර්තෘවරයා වන පරිණාමික ජෛව විද්යාඥ Kei Jokura පවසනවා. ඔහු එක්සත් රාජධානියේ එක්ස්ටර් විශ්වවිද්යාලයේ මෙන් ම ජපානයේ ඔකසාකියේ National Institutes of Natural Sciencesහි ද කාර්යයේ නියුතුයි. “වහාම කෝම්බ් ජෙලි සතුන් තබා තිබූ කාමරයෙන් එළියට ගත් මම විද්යාගාරයේ අනෙකුත් සාමාජිකයන්ටත් පෙන්නුවා.” ඔහු පවසනවා.
Comb jellies යනුවෙන් හැඳින්වෙන්නේ සාගර වාසී ජෙලටීනමය වැනි ශරීර ව්යුහයක් සතු සත්ත්ව විශේෂ 100ක් පමණ අඩංගු ගණයකටයි. වෙනත් ලොවකින් ආ ජීවීන් පිරිසක් මෙන් දිස් වන මේ සතුන් පෙනුමෙන් ජෙලිෆිෂ් මසුන්ට සමීප බවක් පෙන්නුම් කරන අතර විනිවිද පෙනෙන සිරුරේ අඩංගු විශේෂිත වූ සෛල ක්රියාකාරිත්වයක් නිසා ආලෝකය නිපදවමින් ගැඹුරු මුහුදේ වර්ණවත් ආලෝක සැණකෙළි මවන්නට සමත් වනවා. ඉහත අධ්යයනයට පාදක වූ සිදු වීම වාර්තා වී තිබුණේ Mnemiopsis leidyi යන කෝම්බ් ජෙලීස් විශේෂය පාදක කරගනිමින්.
මුලින් පර්යේෂකයන්ට පෙනී ගොස් තිබුණේ සිය ටැංකියේ සිටි ජෙලි කෝම්බ් සතෙකු අතුරුදන් වී ඇති බවයි. පසු ව තවත් ජෙලි කෝම්බ් සතෙකු පමණට වඩා විශාල බව පෙනී ගොස් තිබුණා. සමීප ලෙස නිරීක්ෂණය කරද්දී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ සැබැවින් ම පමණට වඩා විශාල ජෙලි සතෙකු ලෙස පෙනෙන්නට සිටියේ එකට එක් වූ ජෙලි සතුන් දෙදෙනා බවයි.
සෞන්දර්ය සෙනරත්