Home Science News පර්සිවරන්ස් රෝවරය අඟහරු මත සූර්යග්‍රහණයක් දකියි

පර්සිවරන්ස් රෝවරය අඟහරු මත සූර්යග්‍රහණයක් දකියි

by Sathya

පසුගිය සැප්තැම්බර් මස 30 වැනි දින අඟහරු ග්‍රහලොව මත සිට සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට පර්සිවරන්ස් අඟහරු රෝවරයට හැකි වුණා. මෙකී සුවිශේෂ සූර්ය ග්‍රහණය දුටු එම දිනය 2021 වසරේ පෙබරවාරි මස 18 වෙනි දින අඟහරු ලොව මත පර්සිවරන්ස් රෝවරය ගොඩ බැසීමෙන් පසු එළඹුණු 1285 වෙනි අඟහරු දිනය හෙවත් සොල් 1285 දිනයයි. එදින සිය වම්පස තිබෙන Mastcam – Z කැමරාව අඟහරු අහස වෙතට හැරවූ රෝවරයට එහි පායා තිබූ සූර්යයා අඟහරුට අයත් පෝබෝස් චන්ද්‍රයා මඟින් මුවා කිරීමෙන් හටගත් සූර්යග්‍රහණය දැක ගැනීමේ අවස්ථාව ලැබුණා.

අඟහරු ලොවට අයත් උපග්‍රහයන් දෙදෙන වන පෝබෝස් සහ ඩෙයිමෝස් යන චන්ද්‍රයන් දෙදෙනගෙන් වඩා විශාල පෝබෝස් කිලෝ මීටර් 28 × 22 × 18 ප්‍රමාණයේ වස්තුවක් වනවා. අපේ පෘථිවි චන්ද්‍රයා මෙන් ගෝලාකාර නො වන පෝබෝස් පෙනුමෙන් අර්තාපල් අලයක් වැනි නිසා ම ග්‍රහකයකට සමාන වයි දිස් වන්නේ.

පෘථිවි ග්‍රහලොවට පෙනෙන සූර්යග්‍රහණවලට හේතු වන අපේ චන්‍ද්‍රයා කිලෝ මීටර් 384,400 ක දුරකින් පොළොව වටා පරිභ්‍රමණය වුවත් පෝබෝස් චන්ද්‍රයා අඟහරු ලොව වටා කක්ෂගත ව ඇත්තෙ කිලෝ මීටර් 6,000 ක් තරම් ආසන්න දුරකිනුයි. එනිසා ම වේගවත් කක්ෂීය චලිතයක් පෙන්වන පෝබෝස් චන්ද්‍රයා එක් පෘථිවි දිනයක් තුළ අඟහරු ග්‍රහලොව වටා තුන් වාරයක් ගමන් කරනවා.

අඟහරු ලොවේ සහ එයට අයත් චන්ද්‍රයන් දෙදෙනගේ මෙන් ම ඒවායේ කක්ෂීය දුර ප්‍රමාණයන්ට අනුව එම චන්ද්‍රයන් දෙදෙනගෙන් එකකට වත් සූර්යයා සම්පූර්ණයෙන් ම ආවරණය කරන පූර්ණ සූර්ය ග්‍රහණයක් අඟහරු ලොව මත ඇති කිරීමට හැකියාවක් නැහැ.
එනිසා අඟහරු ලොව මත සිට දැකිය හැකි වන්නේ සංක්‍රාන්ති මෙන් දිස්වෙන අර්ධ සූර්ය ග්‍රහණයන් පමණයි.
පසුගිය සැප්තැම්බර් මස 30 වෙනි දින පර්සිවරන්ස් රෝවරය දුටු සූර්ය ග්‍රහණයට කලින් 2022 වසරේ අප්‍රේල් මස 2 වෙනි දිනයේත්, මෙම වසරේ පෙබරවාරි මස 8 වෙනි දිනයේත් පෝබෝස් චන්ද්‍රයා නිසා ම හටගත් සූර්ය ග්‍රහණ දෙකක වීඩියෝ දර්ශන ලබා ගැනීමට එම රෝවරය සමත් වී තිබුණා. ඒවා ද ග්‍රහණය කර තිබුණේ රෝවරයේ වම්පස Mastcam – Z කැමරාව මඟිනුයි.

අඟහරු ලොව මත මෙවැනි සූර්ය ග්‍රහණ දුටු එක ම රෝවරය නාසා ආයතනය මඟින් ගොඩ බැස්වූ පස්වැනි අඟහරු රෝවරය වන පර්සිවරන්ස් පමණක් ම නොවෙයි. 2004 වසරේ ජනවාරියේ දී නාසා ආයතනය විසින් අඟහරු ලොව මත දෙවැනි හා තුන්වැනි වරට පිළිවෙළින් ගොඩ බස්වනු ලැබූ ස්පිරිට් සහ ඔපොචුනිටි යන නිවුන් රෝවරයන් යුගල මඟින් ද එම වසරේ දී මෙන් ම 2019 වසරේ දී පෝබෝස් චන්ද්‍රයා නිසා ඇති වූ සූර්ය ග්‍රහණ වාර්තා කර තිබුණා.

NASA සහ Space.com ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications