Home Science News සූර්යයා ධූමකේතුවක් ගිල ගනී

සූර්යයා ධූමකේතුවක් ගිල ගනී

by Sathya

පසුගිය සති කිහිපයේ ලොව පුරා විවිධ ස්ථානවල සිට දුරේක්ෂ ආධාරයෙන් නිරීක්ෂණය කළ හැකි ව තිබූ
C/2024 S1 ATLAS ධූමකේතුව ඉකුත් 28 වැනි දා සූර්යයාට සමීප ව ගමන් ගනිමින් තිබිය දී මුළුමනින් වාශ්ප වී ගියා. ඒ වන විට ධූමකේතුව ගමන් කරමින් තිබුණේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 0.008ක දුරින්. සූර්ය කොරෝනාවේ ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කර සිටින Solar and Heliospheric Observatory (SOHO) චන්ද්‍රිකාව මඟින් ගනු ලැබූ කිරීටක ඡායාරූපවල මේ අවස්ථාව මනා ලෙස සටහන් වී තිබෙනවා.

C/2024 S1 ATLAS ධූමකේතුව ඉකුත් 23 දා සිය ගමන් මඟේ පෘථිවියට ආසන්නතම ලක්ෂ්‍යය පසු කළේ 8.7ක දීප්තියක් සහිත වයි. එනිසා එය පියවි ඇසෙන් නිරීක්ෂණය අතිශය අපහසු කටයුත්තක් වුණා. කෙසේ නමුත් දුරේක්ෂ මඟින් එය කැමරාවට හසු කරගන්නට තාරකා විද්‍යාඥයන් සහ අහස නිරීක්ෂණය කරන්නන් සමත් ව තිබුණා. ඉන් පසු ධූමකේතුව සූර්යයා දෙසට ඇදී යන්නට පටන් ගත්තේ සූර්යයා නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ම තනන ලද විශේෂිත උපකරණවලින් තොර ව තමා නිරීක්ෂණය කිරීමට නො හැකි තත්ත්වයට පත් වෙමින්.

C/2024 S1 ATLAS ධූමකේතුව මුල් වරට සොයා ගැනුණේ ඉකුත් සැප්තැම්බර් 27 වැනි දිනයි. ඒ හවායිහි Asteroid Terrestrial-impact Last Alert System (ATLAS) මඟින්. එය අයත් වන්නේ ගැලවී වෙන් වූ යෝධ තනි ධූමකේතුවක කොටස්වලින් තැනුණු බවට විශ්වාස කෙරෙන Kreutz sungrazers නමින් හැඳින්වෙන ධූමකේතු කුලකයටයි.

කෙසේ නමුත් ධූමකේතුවේ ඉරණම මෙසේ ලියැවීම ගැන ඇතැම් අහස නිරීක්ෂණය කරන්නන් සිටින්නේ සිත් තැවුලෙන්. ඉකුත් මාසයේ එය සොයාගන්නා විට සාමාන්‍ය Kreutz ධූමකේතුවකට වඩා ප්‍රමාණයෙන් විශාල බව නිරීක්ෂණය වීම නිසා බොහෝ තාරකා විද්‍යාඥයන් විශ්වාස කළේ සූර්ය සමීපකයේ දී අලස ලෙස වාශ්ප වී නොයා 1965 දී ඉකෙයා සෙකී ධූමකේතුව මෙන් ඇති කළාක් මෙන් සැණකෙළියක් මවා පානු ඇති බවයි. එවැනිනත් සිදු වුණි නම් එය මෙවර ‘හැලෝවීන් ධූමකේතුව’ බවට පත් වන්නට ද ඉඩ තිබුණා.

spaceweather.com සහ space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications