1931 දී ඇමරිකාවේ Purdue විශ්වවිද්‍යාලය සතු ව තිබී හමු වූ උල්කාශ්මයක් විශ්ලේෂණය කිරීමෙන් අදින් වසර මිලියන 742කට ඉහත අඟහරු මත ද්‍රව ජලය පැවති බව සනාථ කළ හැකි සාධක හෙළිකරගන්නට විද්‍යාඥයන් සමත් වී සිටිනවා.
ලෆායට් උල්කාෂ්මය ලෙස හැඳින්වෙන එය ප්‍රමාණයෙන් අඟල් දෙකක් තරම් වනවා. එය සොයා ගනු ලැබ තිබුණේ අදින් ආසන්න වශයෙන් සියවසකට පමණ පෙර විශ්වවිද්‍යාලයේ ම තැන්පත් කර තිබිය දීයි. එය එතැනට පැමිණියේ කෙසේ ද, මුලින් ම සොයාගත්තේ කවුද ආදී තොරතුරු කිසිවකු දැන සිටියේ නැහැ. කෙසේ නමුත් NASA ආයතනයේ වයිකිංග් ලෑන්ඩරයෙන් ලබාගත් දත්තවලට අනුව, 1980 දී මේ පාෂාණයේ රැඳී ඇති වීදුරු මෙන් දිලෙන ස්ඵටිකමය කොටස් අඟහරුගේ වායුගෝලීය ස්වභාවය සමඟ සැසඳෙන බව සොයාගන්නට පර්යේෂකයන් සමත් වනවා.
එවක සිදු වූ අධ්‍යයනයන්ගෙන් උල්කාෂ්මය තුළ අන්තර්ගත වී ඇති ඛණිජ එය බිහිවෙමින් පවතින අවස්ථාවේ දී ද්‍රව ජලය සමඟ අන්තර්ක්‍රියා කර ඇති බව සොයාගනු ලැබුණා. නමුත් නමුත් ඒ් ඛණිජ බිහි වූ යුගය කුමක් ද යන්න මෙතෙක් සොයාගෙන තිබුණේ නැහැ. පසුගිය දා Geochemical Perspectives Letters ජර්නලයේ පළ වූ නවතම අධ්‍යයනයකින් දැක්වෙන්නේ ඒ්වා වසර බිලියනයකට අඩු කාලයක සිට පැවත එන්නක් බවයි.
“ඒ් යුගයේ අඟහරු මතුපිට ද්‍රව ජලය බහුල ව තිබූ බව අපි විශ්වාස කරන්නේ නැහැ.” අධ්‍යයනයේ ප්‍රධාන කතුවර, Purdue විශ්වවිද්‍යාලයේ පෘථිවි, වායුගෝලීය සහ ග්‍රහවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්ය Marissa Tremblay සඳහන් කරනවා. “ඒ වෙනුවට, ආසන්නයේ පිහිටි නිත්‍ය තුහිනයන්ගෙන් දිය වී පැමිණි ජලය මෙයට දායක වන්නට ඇති බව අපි උපකල්පනය කරනවා. මේ අයිස් දිය වන්නට ඇත්තේ අදටත් වරින් වර සිදු වන මැග්මා ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන්.” ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්