Home Science News ISS වෙත සැපයුම් ගෙනගිය Progress යානයකින් දුඟදක් පැතිරෙයි

ISS වෙත සැපයුම් ගෙනගිය Progress යානයකින් දුඟදක් පැතිරෙයි

by Sathya

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පැමිණි සැපයුම් යානයකට පිවිසුම විවෘත කිරීමෙන් පසු අභ්‍යවකාශගාමීන් හට අනපේක්ෂිත ගන්ධයක් දැනී ඇති බව NASA ආයතනය සඳහන් කළා.

රුසියාවට අයත් Progress කැප්සියුලයක් වන අදාළ සැපයුම් යානය අභ්‍යවකාශ නැවතුම්පොළේ රුසියානු කොටසට අයත් Poisk මොඩියුලය හා ඈඳුණේ ඉකුත් සෙනසුරාදා (23) දිනයි. කෙසේ නමුත් ඉන් හමා ආ සැර දුර්ගන්ධයක් හේතුවෙන්, රුසියානු විශ්වගාමීන් හට වැඩි වේලාවක් එහි දොර විවෘත කරගෙන සැපයුම් ලබා ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

“Progress යානයේ දොර විවෘත කිරීමෙන් පසු රොස්කොස්මොස්හි විශ්වගාමීන් හට අනපේක්ෂිත ආකාරයේ දුර්ගන්ධයක් දැනී ඇති අතර, ද්‍රව බිඳු කිහිපයක් ද නිරීක්ෂණය වී තිබුණේ Poisk හි දොර අනෙකුත් රුසියානු කොටස්වලින් වෙන් වන පරිදි වසා දැමීමට හේතුව වෙමින්.” NASA බලාධාරීන් X පණිවුඩයක් තබමින් සඳහන් කර තිබුණා. නැවතුම්පොළ කාර්ය මණ්ඩලයේ ජීවිතයට අනතුරක් නැති බවත්, නැවත යානයයේ දොර විවෘත කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබුණා.

රුසියානු විශ්වගාමීන් අදාළ කොටසේ දොර පියන් වසා දැමූ පසු නැවතුම්පොළේ ඇති වායු පිරිපහදුකරණ සහ සංවේදක මඟින් “තත්තතවය සාමාන්‍ය මට්ටමේ පවතින බව” තහවුරු කළ බව ද එහි සඳහන්.

අභ්‍යවකාශ නැවතුම්පොළේ සිදු වෙමින් පවතින වායු කාන්දුව හේතුවෙන් කොහොමටත් මේ දිනවල ඇමරිකානු සහ රුසියානු කොටස් එකිනෙකින් වෙන් වන පරිදි මුද්‍රා තබා ඇති හෙයින් මින් ඇමරිකානු කොටසට කිසි ලෙසකින් හෝ බලපෑමක් සිදු වන්නේ නැහැ.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications