ලෝක ප්‍රසිද්ධ ගුවන් යානා නියමුවරියක වූ ඇමීලියා ඉයර්හාට්ගේ (Amelia Earhart) අතුරුදන් ගුවන් යානය බවට සැක කළ හැකි මුහුදුබත් ව්‍යුහයක් දැක්වෙන සෝනාර් ඡායාරූප කිහිපයක් 2024 ජනවාරියේ නිකුත් වී තිබුණා. කෙසේ නමුත් ඒවා ලබාගත් ගවේෂණ කණ්ඩායම පසුගිය දා සඳහන් කළේ එය මුහුදුබත් ගුවන් යානයක් නො ව සාගර පත්ලේ ඇති ගල් කිහිපයක් බව තහවුරු කරගත් බවයි.
ඉකුත් ජනවාරියේ මෙකී සෝනාර් ඡායාරූප කිහිපය මුදා හැරුණේ දකුණු කැරොලිනාව පදනම් කරගෙන පිහිටි Deep Sea Vision නමැති ගැඹුරු සාගර ගවේෂණ සමාගම විසින්. ඒවායෙන් පෙනෙන්නට තිබුණේ අඩි 16,000ක් යට පැසිෆික් සාගර පතුලේ ගිලී තිබෙන ගුවන් යානයක සුන්බුන් බවට සැක කළ හැකි පෙනුමෙන් යුතු ව්‍යුහයක්. ගත වූ මාස 11ක කාලය තුළ මෙය ගැඹුරින් අධ්‍යයනය කළ සමාගම එය ඉයර්හාට් සමඟ අතුරුදන් වූ ඇගේ ගුවන් යානය නොව, ස්වභාවිත පාෂාණමය ව්‍යුහයක් බව නිගමනය කර තිබෙනවා.
ඇමීලියා ඉයර්හාට් යනු ලොව පුරෝගාමී කාන්තා ගුවන් නියමුවරියක වන අතර 1932 වසරේ තනි ව අත්ලාන්තික් සාගරයට ඉහළින් ගුවන් යානයක් පියාසර කළ පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වුණා. කෙසේ නමුත් 1937 ජූලි 02 දා ලොව වටා පියාසර කළ පළමු කාන්තා නියමුවරිය වීමේ අදිටනින් ගුවනට නැඟුණු ඇගේ Lockheed Electra 10E ද්වි එන්ජින් යානය පැපුවා නිව් ගිනියාව සහ සමකයට උතුරින් පැසිෆින් සාගරයේ පිහිටි හවුලන්ඩ් දිවයින අතර දී අතුරුදන් වුණා. යානය අතුරුදන් වනවිට එමීලියා සමඟ ඇගේ ගමන් යාත්‍රණ සගයා වූ ෆ්‍රෙඩ් නූනන් (Fred Noonan) ද සිටියා.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්