Home Science News නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර්

නත්තල් උදාවේ හිරුට ළං වී වාර්තාවක් තැබූ පාකර්

by Sathya

මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ මිනිසා විසින් තනන ලද වස්තුව බවට පත් වුණා. ඒ හිරුගේ බාහර වායුගෝලයේ අධික උෂ්ණත්වයට මුහුණ දෙමින්, හිරුගේ සිට කිලෝමීටර මිලියන 6.1ක් සමීපයෙන් පියාසර කරමින්.

මෙය සිදු වූයේ යැ යි සැලකෙන්නේ පසුගිය 24 වැනි දා ග්‍රිනිච් සම්මත වේලාවෙන් 1153ටයි. මෙය පාකර් යානය හිරුට සමීප පියාසැරියක් සිදු කරන 22 වැනි අවස්ථාව වුවත්, එතරම් සමීප පියාසැරියක් මින් පෙර සිදු කර තිබුණේ නැහැ. ඉදිරියේ දී තවත් සමීප පියාසැරි අවම වශයෙන් දෙකක්වත් සිදු කිරීමට නියමිත ව තිබුණත්, ඒවා ද පාකර් යානය මේ තරමට හිරුට සමීප නො කරනු ඇති බව NASA සඳහන් කරනවා. කෙසේ නමුත් සමීප පියාසැරිය නිරුපද්‍රිත ව සිදු වුණි ද යන්න තහවුරු කරගැනීමට නම් හෙට දිනය වන තෙක් (27) බලා සිටීමට සිදු වනවා. ඒ සමීප පියාසැරිය සිදු කරන අවස්ථාවල දී පෘථිවිය සමඟ වන සම්බන්ධතාවය අවහිර වීම හේතුවෙන්. NASA සඳහන් කර ඇති පරිදි යානය හිරුගේ බලපෑම හමුවේ සාර්ථක ලෙස සමීප වීම සිදු වූයේ ද යන්න තහවුරු කෙරෙන පණිවුඩය ලැබෙන්නේ හෙට දිනයේයි.

වාර්තා පිහිටු වීම සහ පිහිටුවූ වාර්තා තමා විසින් ම බිඳ හෙලනු ලැබීම පාකර් යානයට අලුත් දෙයක් නොවෙයි. 2023 සැප්තැම්බර් 21 දා මිනිසා තැනූ වේගවත් ම වස්තුව බවට එය පත් වුණේ පැයට කිලෝමීටර 635,266ක වේගයෙන් පියාසර කරමින්. ඉකුත් දා හිරුට සමීප වීමේ දී මෙකී වාර්තාව ම නැවත වතාවක් අලුත් කිරීමට පාකර් සමත් වුණා. ඒ පැයට කිලෝමීටර 692,000ක වේගයක් අත්පත් කරගනිමින්. සන්සන්දනාත්මක ව ගෙන හැර දැක්වුවහොත් එය ලොක්හීඩ් මාටින් ප්‍රහාරක ගුවන් යානයක වේගය මෙන් 300 ගුණයක වේගයක්! සිකුරු ග්‍රහලෝකය සමඟ කෙරෙන සමීප පියාසැරි මේ අධික වේගය ලබාගැනීමට හේතු වී තිබෙනවා.

Space.com ඇසුරිනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications