Home Science News තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කෙරේ

තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කෙරේ

by Sathya

Bald eagle හෙවත් ‘තට්ට රාජාලියා’ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. එරට ජනාධිපති ජෝ බයිඩන් මේ නම් කිරීමට අනුමැතිය දෙමින් නීති ලේඛනයට අත්සන් තැබුවේ නත්තල් දිනයේ යි.

Haliaeetus leucocephalus යනුවෙන් විද්‍යාත්මක ව හැඳින්වෙන මේ පක්ෂියා වසර ගණනාවක් තිස්සේ ඇමරිකාවේ සංකේතය බවට පත් ව තිබුණා. වර්ෂ 1782 සිට ඇමරිකාවේ රාජ්‍ය ලාංඡනයේ ද අනාදිමත් කාලයක සිට ජනාධිපතිවරයාගේ නිල මුද්‍රාවේ ද තට්ට රාජාලි රුව සටහන් වනවා. කෙසේ නමුත් මේ වන තෙක් ම තට්ට රාජාලියා ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස නිල වශයෙන් නම් කර තිබුණේ නැහැ.

විධායක අනුමැතිය සඳහා බයිඩන්ගේ මේසය මතට එය ආවේ, ඉකුත් සතියේ එරට කොංග්‍රස් මණ්ඩලයේ පනතක් වශයෙන් සම්මත වීමෙන් අනතුරුවයි.

“අවරුදු 250කට ආසන්න කාලයක් තිස්සේ අපි තට්ට රාජාලියාට ජාතික පක්ෂියා යනුවෙන් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ එහෙම නො වෙන පසුබිමකයි. නමුත් දැන් ඒ් නාමය නීත්‍යනුකූලයි. ඒකට මේ තරම් සුදුසු කුරුල්ලෙක් තවත් නෑ.” එරට ජාතික රාජාලි මධ්‍යස්ථානයේ සම සභාපතිවරයෙකු වන ජැක් ඩේවිස් සඳහන් කරනවා.

කෙසේ නමුත් ඇමරිකානු ජනරජයේ නිර්මාතෘවරයෙකු වන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් එවක සිය රාජ්‍යය නියෝජනය කිරීම සඳහා තට්ට රාජාලි සංකේතය යොදා ගැනීම ගැන පැහැදීමකින් නො සිටි බව සඳහන් වනවා. ඔහු එම පක්ෂියා හඳුන්වා දී ඇත්තේ “නරක ගති ගුණ ඇති කුරුල්ලෙකු” ලෙසයි. එහෙත් කොංග්‍රස් මණ්ඩලයේ වූ සියලු දෙනා ඔහුගේ මතයට එකඟ නො වූ බව පැහැදිලියි.

ලොව පුරා වෙසෙන අනෙකුත් රාජාලි විශේෂ මෙන් ම තට්ට රාජාලියා ද සැලකෙන්නේ ශක්තිමත් බවේ, කැපවීමේ, නිදහසේ සහ අපරාජිත බවේ සංකේතයක් ලෙසයි.

මිනෙසෝටා ප්‍රාන්තය නියෝජනය කරන නීති සම්පාදකයන් මේ නිල නම් කිරීම වෙනුවෙන් මුල් වී ක්‍රියා කළ අය අතරින් කැපී පෙනෙනවා. මිනෙසෝටාව නියෝජනය කරන සෙනෙට් සභික ඇමී ක්ලොබුචර් සඳහන් කරන්නේ ඇමරිකාව තුළ වැඩි ම තට්ට රාජාලි ගහනයක් වෙසෙන්නේ සිය ප්‍රාන්තයේ බවයි.

උතුරු ඇමරිකාවට ආවේණික රාජාලි විශේෂයක් වන මොවුන් අලෙවි කිරීම හෝ ඝාතනය කිරීම 1940 වසරේ සිට බලාත්මක වූ ජාතික ලාංඡන පනත (National Emblem Act) මඟින් නීති විරෝධී ක්‍රියාවක් ලෙස නම් කර තිබෙනවා. වරෙක වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටියත් 2009 වසරේ පටන් ගහනය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර ඒ අවදානම පහ ව ගොස් තිබෙනවා.

BBC ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications