වැඩිම කලක් දිය යට විසීමේ වාර්තාව අලුත් වෙයි

ජර්මානු ජාතික ඉංජිනේරුවෙකු දින 120ක් ජලය යට වාසය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් ව තබෙනවා.

59 වැනි වියේ පසුවන Rudiger Koch මේ ගිනස් වාර්තාව තබා ඇත්තේ ජලය යට තනා ඇති වාසස්ථානයට වී කාලය ගත කරමින්. ඒ අනුව මින් පෙර ෆ්ලොරිඩා කලපුවේ දිය යට කුටියක දින 100ක කාලයක් වෙසෙමින් ඇමරිකානු ජාතික Joseph Dituri විසින් තබන ලද ගිනස් වාර්තාව නිල වශයෙන් බිඳ හෙලුණු බව ගිනස් ලෝක වාර්තා විනිශ්චයකාරවරියක වක Susana Reyes තහවුරු කරනවා.

ඔහු මෙසේ මාස හතරක කාලයක් දිය යටට වී සිටියේ Ocean Builders නමැති, තමා ද සම හිමිකාරිත්වය දරන සමාගම විසින් නිමවන ලද කුටියකයි.

AFP වෙත අදහස් දක්වමින් Koch පවසන්නේ දින 120ක දිය යට වාසය සිය දිවියේ ලද අද්විතීය වික්‍රමාන්විත අද්දැකීමක් බවයි. මෙසේ දිවි ගෙවන අතර, පිටත නිරීක්ෂණය කළ හැකි පරිදි සවිකර තිබූ කවුළුව අසලින් පිහිනා යන ජලජ ජීවීන් කැමරා කාචයට හසු කරගන්නටත් ඔහු අමතක කර තිබුණේ නැහැ. සාගර ජීවීන්ගේ චර්යා රටා දැක්වෙන පැය 1,000කට අධික ධාවන කාලයකින් යුතු වීඩියෝ දර්ශන මේ කාලය තුළ දී ඔහු පටිගත කර තිබෙනවා.

Kochගේ කැප්සියුලය ඇඳකින්, වැසිකිළියකින්, රූපවාහිනියකින්, පරිගණකයකින් සහ අන්තර්ජාල සබඳතාවයකින් සමන්විත ව තිබුණා. ඔහුගේ ශරීර සුවතාව පවත්වාගෙන යා හැකි පරිදි ව්‍යායාම පැදියකුත් එහි ඇතුළත් වුණා. ජලය යටින් පා වෙමින් පැවති මේ කැප්සියුලය, ජල තලයට ඉහළින් පිහිටා ඇති තවත් කුටීරයකට පටු සර්පිලාකාර තරප්පු පෙළකින් සම්බන්ධ ව පැවතියා. Koch වෙත ආහාර සහ වෛද්‍ය පහසුකම් සැලසුණේ ඒ ඔස්සේයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

ප්ලූටෝ නැවතත් ග්‍රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක්

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?