මිනිස් වර්ගයා විසින් අභ්‍යවකාශගත කර තිබෙන බලවත් ම අභ්‍යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ්, 2032 වසරේ පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 ග්‍රහකය සමීප ව නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබෙනවා.
යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනයේ (ESA) වෙබ් අඩවියේ පළ කරන ලද නිවේදනයක දැක්වෙන පරිදි ඉදිරි මාස කිහිපය තුළ මෙකී අවදානම් ග්‍රහකය නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා ජේම්ස් වෙබ් දුරේක්ෂය භාවිත කිරීමට ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාඥ කණ්ඩායමකට අවසර හිමි වී තිබෙනවා. ගොඩනැගිල්ලකට සම කළ හැකි විශාලත්වයෙන් යුතු ග්‍රහකය චිලීහි පිහිටා ඇති, NASA ආයතනයට අයත්, Asteroid Terrestrial-impact Last Alert System (ATLAS) දුරේක්ෂය විසින් මුලින් ම හඳුනාගනු ලැබුණේ 2024 දෙසැම්බර් මාසයේ දීයි. මුල දී එය 2032 වසරේ දෙසැම්බර් මාසයේ දී පෘථිවිය සමඟ ගැටීමේ සම්භාවිතාව 1.3%ක් ලෙස පැවතියත් මේ වන විට අවධානම 2.3%ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
2024 YR4 ග්‍රහකය මීටර 55ක දළ විෂ්කම්භයකින් යුතු බව විද්‍යාඥයන් ඇස්තමේන්තු කරනවා. එනම් එය උසින් පීසාහි ඇලවෙන කුළුණ තරම් උසකින් යුතු වනවා. මෙවැනි ප්‍රමාණයේ ග්‍රහක ඝට්ටනයකින්, ඩයිනෝසෝරයන් මිහිපිටින් අතුගා දැමූ, අදින් වසර මිලියන 66කට ඉහත දී සිදු වූ චික්සලබ් ඝට්ටනය තරම් ප්‍රබල හානියක් සිදු නො වන නමුත් 1908 දී සයිබීරියාවේ තුන්ගුස්කාවට පතිත වූ ග්‍රහකය නිසා ඇති වූ හානියට සම විනාශයක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්