Science News කෝවිඩ්වලින් උගත් පාඩම් අමතකයි SathyaMarch 25, 2025070 views කෝවිඩ් 19 වසංගත සමයේ උගත් විද්‍යාත්මක පාඩම් මේ වන විට ලෝකයා අමතක කරමින් සිටින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයන් අනතුරු අඟවමිව් පෙන්වා දෙනවා. ඔවුන් මේ බව අවධාරණය කර ඇත්තේ 2020 මාර්තු 23 වැනි දින එවක එක්සත් රාජධානියේ අගමැති ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන්ගේ සංචරණ සීමා (lockdown) පැනවීමට වසර පහක් පිරීම නිමිත්තෙන්. ප්‍රධාන වශයෙන් ම මේ පියවර ගනු ලැබුණේ රෝහල් කෝවිඩ් රෝගීන්ගෙන් පිරී ඉතිරී යාම වළක්වා ගැනීමටයි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අද යළි වසංගත තත්ත්වයක් ඇති වුවහොත් එදාට වඩා එම තත්ත්වයට හොඳින් මුහුණදීමට හැකියාවක් ඇති බව නො පෙනෙන බවයි. “කෝවිඩ්වලට කලින් පටන්, සෑම ශීත ඍතුවක ම රෝහල් පිරී යන්නට අතිශය ආසන්න තත්ත්වයට පැමිණියා. කෝවිඩ් පැමිණි පසු ව තවදුරටත් රෝගීන් භාරගන්න පුළුවන් තත්ත්වයක් NHS (එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට) තිබුණේ නැහැ.” එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Rowland Kao සඳහන් කරනවා. “මීළඟ වතාවේ තත්ත්වය වෙනස් වේ යැ යි කිවහැකි සාධක පෙනෙන්න නෑ. නියත වශයෙන් ම වඩාත් ඉඩක් ඇත්තේ තවත් නරක අතට හැරීමටයි.” එසේ ම ඔවුන් පෙන්වා දෙන්නේ මුළු රටට ම සංචරණ සීමා පැනවීම නිසා ඇති වන මනෝවිද්‍යාත්මක අහිතකර ප්‍රතිඵල මොනවා ද යන්න වටහාගන්නට ද නො හැකි වී ඇති බවයි. කෙන්ට් විශ්වවිද්‍යාලයේ සමාජ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය Dominic Abrams පෙන්වා දෙන්නේ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මානව සබඳතා සීමාකිරීම ප්‍රතිඵලදායක වුවත්, ඉන් ඇති කෙරෙන මනෝවිද්‍යාත්මක කැලැල් ගැඹුරට විහිදී යා හැකි බවයි. East Anglia විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Paul Hunter පෙන්වා දෙන්නේ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම, මුව ආවරණ පැළඳීම ආදී ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ ද ඒවායේ ඇති වැදගත්කම හා ප්‍රයෝජනය කුමක් දැ යි හරිහැටි වටහා ගැනීමට සමාජයට හැකියාව ලැබුණේ ද යන්න ප්‍රශ්න සහගත බවයි. The Guardian ඇසුරෙනි.