සෝවියට් දේශය පැවති යුගයේ සිකුරු ග්‍රහයා මතට ගොඩබැස්වීමේ අරමුණින් දියත් කෙරුණු අසාර්ථක අභ්‍යවකාශ යානයක් මේ සති අන්තයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත ව තිබෙනවා.
ටොන් බාගයක පමණ බරින් යුතු මේ ලෝහ ස්කන්ධය පතිත වන ස්ථානය නිශ්චිත ව හඳුනාගන්නට මෙතෙක් හැකියාව ලැබී නැහැ. විශේෂඥයන් පෙන්වා දෙන්නේ එය මුළුමනින් ම ඉහළ වායුගෝලයේ දී දැවී යන්නේ ද යන්න ද මෙතෙක් තහවුරු කරගෙන නැති බවයි.
නෙදර්ලන්ත ජාතික විද්‍යාඥ Marco Langbroek අනුමාන කරන්නේ එය මැයි 10 වැනි සෙනසුරාදා පෘථිවි ඉහළ වායුගෝලයට ඇතුළු වනු ඇති බවයි. ඔහුගේ ගණනයන් පෙන්වා දෙන්නේ යානය මුළුමනින් දැවී නො ගොස් තනි ව්‍යුහයක් ලෙස පවතින්නේ නම් එය පැයට කිලෝමීටර 242ක ප්‍රවේගයකින් බිම පතිත වනු ඇති බවයි.
අවදානම් සහගත තත්ත්වයක් ඇති වී තිබුණත් ඔහු පවසන්නේ අප අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවයි. යානාව සාපේක්ෂ වශයෙන් කුඩා ප්‍රමාණයේ එකක් වන අතර කොටස් වශයෙන් වෙන් වී නො ගියත්, වසරකට කිහිප වරක් ම සිදුවන කුඩා උල්කාපාත ඝට්ටනයක ස්වරූපය ගනු ඇති බව ඔහු සඳහන් කරනවා.
Kosmos 482 නමින් යුතු මේ යානය සෝවියට් සමූහාණ්ඩුව විසින් උඩුගුවන් ගත කෙරුණේ 1972 දී යි. ඒ ඔවුන්ගේ සිකුරු වෙත යැවුණු මෙහෙයුම්වල එක් පුරුකක් ලෙසයි. කෙසේ නමුත් එහි වූ ප්රචාලන දෝෂයක් හේතුවෙන් යානයට පෘථිවි කක්ෂයෙන් පිටතට ගමන් කිරීමට හෝ හැකියාව ලැබුණේ නැහැ.
කිලෝග්‍රෑම් 500ක බරින් යුතු යානය වායුගෝලයට ඇතුළු වීමේ දී විනාශ නො වීමට වැඩි ඉඩක් පවතින බව Langbroek විශ්වාස කරනවා. ඒ එය සිකුරුගේ ඝනකම් කාබන් ඩයොක්සයිඩ් පිරි විෂම වායුගෝලය අතරින් පහළ බැසීමට සරිලන පරිදි වායුගෝලීය හැසිරීම්වලට ඔරොත්තු දෙන අයුරින් නිමවා තිබීම හේතුවෙන්.
යානය සතු ව පැරෂූට් පද්ධතියක් තිබුණත් අභ්‍යවකාශගත කිරීමෙන් වසර 53කට පසුත් එය ක්‍රියාත්මක වේවි යැ යි විශේෂඥයන් විශ්වාස කරන්නේ නැහැ. මෙතරම් කාලයක් අභ්‍යවකාශ කාලගුණයට නිරාවරණය වෙමින් තිබීම නිසා එහි තාප ආරක්ෂණ පළිහ හානි වී තිබීමට ද ඉඩ තිබෙනවා. තාරකා භෞතික විද්‍යාව සඳහා වන හාවඩ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ ජොනතන් මැක්ඩෝවෙල් සඳහන් කරන්නේ යානය වායුගෝලයට ඇතුළුවන අවස්ථාවේ මේ තාප ආරක්ෂණ පළිහේ ක්‍රියාකාරිත්වය අකර්මණ්‍ය වන්නේ නම් වඩාත් හොඳ බවයි.
The Guardian ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි