අප සිතා සිටියාට වඩා ක්ෂීරපථ මන්දාකිනිය තුළ පෘථිවියට සමාන බාහිර් ග්‍රහලෝක බහුල වශයෙන් පිහිටා තිබිය හැකි බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා. අධ්‍යයන වාර්තාවකින් ඔවුන් සඳහන් කරන්නේ මෙය ක්ෂීරපථය තුළ පොදු තත්ත්වයක් විය හැකි බවයි.
පර්යේෂණ කණ්ඩායම තාරකාවක් වටා හිරුගේ සිට බ්‍රහස්පති පවතින දුරට සමාන දුරකින් කක්ෂගත ව පවතින සුපිරි-පෘථිවියක් සොයාගැනීමට සමත් වුණා. කෙසේ නමුත් මෙය විරල අද්දැකීමක් වූයේ මෙතෙක් නිරීක්ෂණය කරන ලද පද්ධතිවල සාමාන්‍යයෙන් මෙවැනි දුර ප්‍රමාණයකින් කක්ෂගත වන බව පෙනීගොස් ඇත්තේ වායුමය යෝධයන් සහ අයිස් යෝධයන් වීම හේතුවෙන්.
“අපි ‘සුපිරි-පෘථිවියක්’ සොයාගත්තා. එහි අදහස එය අපේ මව් ග්‍රහලෝකයට වඩා විශාල බව සහ නෙප්චූන්ට වඩා කුඩා බවයි. කෙසේ නමුත් එය හමු වුණේ මින් පෙර පෘථිවියට වඩා දහස් හෝ සිය ගුණයකින් විශාල ග්‍රහලෝක පමණක් හමු වූ ස්ථානයකයි” අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ හාවඩ් සහ ස්මිත්සෝනියන් තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ (CfA) තාරකා විද්‍යාඥ වේයිචෙන් සැං පවසනවා.
පෙනීමට තිබූ හැටියට අමුතු ස්වභාවයක් ඉසිලූ මේ සුපිරි-පෘථිවිය නිරීක්ෂණය කිරීමෙන් පසු ඔවුන් කර තිබුණේ එහි දත්ත ක්ෂුද්‍ර කාචනය ඔස්සේ රැස්කරගත් බාහිර් ග්‍රහලෝක පිළිබඳ දත්ත ඇතුළත් සමුදායක් හා සසඳා බැලීමයි. එහි දී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ මේ ග්‍රහලෝකය පෙනෙන්නට තිබූ තරම් ‘අමුතු’ ග්‍රහලෝකයක් නො වන්නට ද ඉඩ ඇති බවයි.
පර්යේෂකයන් මෙම සුපිරි-පෘථිවිය කක්ෂගත ව පවතින මව් තාරකාවේ දෘශ්‍යමාන දීප්තියේ වෙනස්කම් අධ්‍යයනයට බඳුන් කළ අතර, ඒවා ඔස්ට්‍රේලියාව, චිලී සහ දකුණු අප්‍රිකාවේ පිහිටි කොරියානු ක්ෂුද්‍ර කාචන දුරේක්ෂ ජාලයෙන් ලබාගත් (KMTNet) සමීක්ෂණ පුළුල් දත්ත සමඟ සැසඳීමට ලක් කළා.
ඔවුන්ට එහි දී පෙනී ගොස් තිබුණේ සුපිරි-පෘථිවි ලෙස නම් කළ හැකි ග්‍රහලෝක මෙතෙක් සිතා සිටි පරිදි මව් ග්‍රහලෝකයට ආසන්න කෙටි දුර සීමාවක් සහිත කක්ෂවල පමණක් පිහිටන බවට නියමයක් නොමැති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඒවා වායුමය යෝධයන් පවතින බවට සිතා සිටින සීමාවේ ද පිහිටා තිබීමට ඉඩ තිබෙන බවයි.
සාමාන්‍යයෙන් තාරකාවලට ඈතින් කක්ෂගත වන ග්‍රහලෝක හඳුනා ගැනීම දුෂ්කර වුවත්, මෙම අධ්‍යයනය මත පදනම් ව, සැං සහ ඔහුගේ සගයන් අනුමාන කරන්නේ මන්දාකිනියේ තාරකා තුනෙන් එකකට බ්‍රහස්පති වැනි දුරකින් පිහිටි කක්ෂයක සුපිරි-පෘථිවියක් තිබිය යුතු බවයි.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්