Home Science News ඇමසන් වනයෙන් නව ගෙඹි විශේෂයක්

ඇමසන් වනයෙන් නව ගෙඹි විශේෂයක්

by Sathya

ඇමසන් වනයේ වෙසෙන ‘poison dart frog’ ලෙස හැඳින්වෙන විෂ සහිත ගෙඹි විශේෂයක නව ප්‍රභේදයක් සොයාගන්නට බ්‍රසීල වනජීවී පර්යේෂකයන් පිරිසක් සමත් ව සිටිනවා. බ්‍රසීලයේ Instituto Nacional de Pesquisas da Amazôniaහි පර්යේෂණ සහභාගීත්වයෙන් සිදු වූ මේ ගවේෂණයට චෙක් ජනරජයේ ජාතික කෞතුකාගාරයේ සහාය ද හිමි ව තිබෙනවා.

පුළුල් පර්යේෂණයන් ක්‍රියාත්මක වෙමින් තිබුණත්, ඇමසන් වනයේ බොහෝ ප්‍රදේශ ඒවායේ ඇති දුෂ්කර මෙන් ම දුරස්ථ භාවය හේතුවෙන් තවමත් නිසි අධ්‍යයනයට ලක් ව නැහැ. පර්යේෂකයන් උත්සාහ දරා තිබුණේ මේ අඩුව පිරවීමටයි. කුඩා ගුවන් යානයකින් වනාන්තරය යාබද ගුවන්පථයකට පැමිණි ඔවුන් අනතුරු ව Juruá ගංගා ද්‍රෝණියේ හරහා පැය 10ක් යාත්‍රා කිරීමෙන් පසු වනාන්තරයේ ඇතුළට ගමන් කරීම ඇරඹුවා. අනතුරු ව ඔවුන් පිවිස තිබුණේ පාම් ගස්වලින් ගහන ප්‍රදේශයකටයි. මෙතෙක් හඳුනා නො ගත් ගෙඹි විශේෂය සොයාගන්නට ඔවුන් සමත් ව තිබුණේ එතැන දී යි. ඉස්ගෙඩියන් ද ඇතුළු ව නියැදි කිහිපයක් රැස්කරගත් ඔවුන් සිය විද්‍යාගාරය වෙත රැගෙනවිත් වැඩිදුර අධ්‍යයනයට ලක් කර තිබුණා.

DNA විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත්තේ මොවුන් Ranitomeya ගණයට අයත් නව ගෙඹි විශේෂයක් බවයි. සිරුරේ ඇති අහස් නිල් පාටට හුරු රේඛා ප්‍රමුඛ ලක්ෂණයක් බව හඳුනාගත් පර්යේෂකයන් මොවුන් Ranitomeya aetherea ලෙස දැනට නම් කර තිබෙනවා.

බොහෝ විෂ සහිත ගෙම්බන් මෙන් මේ විශේෂය ද ශරීර ප්‍රමාණයෙන් කුඩා වන අතර, මිලිමීටර 15ක දිගකින් යුතු වනවා. මෙලෙස Ranitomeya ගණයට අලුතින් ජීව විශේෂයක් එක්වන්නේ වසර දහකට පසු ව වීම ද විශේෂත්වයක්.

පර්යේෂකයන් සඳහන් කරන පරිදි මේ ගෙඹි විශේෂය සාමාන්‍යයෙන් දිවා රාත්‍රී කාලවල දී වඩාත් සක්‍රීය වන බවයි. උන් බනානෙයිරා බ්‍රාවා ශාක අතර වාසය කිරීමට ප්‍රිය කරන බවත්, වැටුණු පාම් කොළ යට සැඟව සිටින බවත් පර්යේෂකයන් පවසනවා.

Phys.org ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications