Home Science News චීන අභ්‍යවකාශ නැවතුම්පොළෙන් මින් පෙර හඳුනා නොගත් බැක්ටීරියා ප්‍රභේදයක් සොයාගැනේ

චීන අභ්‍යවකාශ නැවතුම්පොළෙන් මින් පෙර හඳුනා නොගත් බැක්ටීරියා ප්‍රභේදයක් සොයාගැනේ

by Sathya

චීනයට අයත් Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මින් පෙර හමු නොවූ නව බැක්ටීරියා විශේෂයක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. Niallia tiangongensis ලෙස නම් කර ඇති ඔවුන් පෘථිවියේ වාසය කරන බව සොයාගෙන ඇති බැක්ටීරියා විශේෂයක නව ප්‍රභේදයක් වනවා. ඔවුන් සොයාගෙන ඇත්තේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇතුළත කුටීරවල සිටිය දීයි.

මේ සොයාගැනීම සිදුකරනු ලැබ තිබුණේ Shenzhou Space Biotechnology Group හි සහ බෙයිජිංහි අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරුකරණ ආයතනයේ (Beijing Institute of Spacecraft System Engineering) පර්යේෂකයන් විසින්. මේ පිළිබඳ පර්යේෂණ වාර්තාව ඉකුත් දා International Journal of Systematic and Evolutionary Microbiology ජර්නලයේ පළ වී තිබුණා.

ක්ෂුද්‍ර ජීවීන්ගේ ලාක්ෂණික තේරුම් ගැනීම, දීර්ඝකාලීන අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ගගනගාමීන්ගේ සෞඛ්‍යය රැකගැනීමට සහ අභ්‍යවකාශ යානා පද්ධතිවල විශ්වසනීයත්වය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බව මේ අධ්‍යයනයෙන් අවධාරණය කෙරෙන බව South China Morning Post වාර්තා කරනවා.

පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මේ නව බැක්ටීරියා ප්‍රභේදය අභ්‍යවකාශයේ පවතින විෂම පරිසර තත්ත්වයන්ට මුහුණදිය හැකි පරිදි හැඩගැසී ඇති බවයි. උදාහරණ වශයෙන් එයට සෛල සහ පටක හානි සිදුකරන ඔක්සිකාරක ආතතියට (oxidative stress) ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් ඇති බව ද, විකිරණය නිසා සිදුවන හානිය පූරණය කිරීමට හැකියාවක් ඇති බව ද පෙනී ගොස් තිබෙනවා.

චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කර ඇති පරිදි මේ සොයාගැනීම සිදුකර තිබෙන්නේ ඔවුන්ගේ China Space Station Habitation Area Microbiome Programme (Champ) වැඩසටහනට සමගාමීවයි. මෙකී ක්ෂුද්‍රජීව සාම්පලය ලබාගෙන තිබෙන්නේ 2023 වසරේ දීයි. එවිට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිටියේ Shenzhou-15 ගගනගාමී කණ්ඩායමයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications