Home Science News අයිසැක්මන්ට NASA මුලසුන අහිමි වෙයි

අයිසැක්මන්ට NASA මුලසුන අහිමි වෙයි

by Sathya

NASA ආයතනයේ ප්‍රධානියා හෙවත් Administrator තරතුර සඳහා තමන් විසින් ම යෝජනා කරනු ලැබ තිබූ බිලියනපති ව්‍යවසායක ජෙරාඩ් අයිසැක්මන්ගේ නම ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍යජාලය වන Truth Social හි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඔහු ගැන ගැඹුරින් සිදු කළ සොයාබැලීමකට පසු මේ තීරණය ගත් බවයි. “සිය පූර්ව ආශ්‍රයන් ගැන සිදු කළ තරයේ සොයාබැලීමකින් පසු, මා NASA ප්‍රධානී වශයෙන් යෝජනා කළ ජෙරාඩ් අයිසැක්මන්ගේ නම ඉල්ලා අස් කරගන්නවා. අපගේ මෙහෙයුම සමඟ සමපාත වන, ඇමරිකාව අභ්‍යවකාශයේ ප්‍රථමස්ථානයේ ලා සලකන නව අපේක්ෂකයෙකු ඉදිරියේ දී නිවේදනය කෙරෙනු ඇති.”

මින් පෙර ෆෙඩරල් රජයේ තනතුරු නො දැරූ බිලියනපති ජෙරාඩ් අයිසැක්මන් NASA හි ප්‍රධානියා වශයෙන් යෝජනා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය වසරේ දෙසැම්බරයේ යි.

ට්‍රම්ප් හිතවාදී ඊලෝන් මස්ක්ගේ SpaceX සමාගම සමඟ ඇතිකරගත් සහයෝගීතා පදනමක් මත තමාගේ ද මූල්‍ය දායකත්වයෙන් යුතු ව දියත් වූ Polaris මෙහෙයුම් ඔස්සේ දෙවරක් අභ්‍යවකාශයට පිවිස ඇති ජෙරාඩ් අයිසැක්මන්, පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ මෙහෙයුමක් අතරතුර අභ්‍යවකාශ සක්මනක නිරත වූ පළමු අභ්‍යවකාශගාමියා ද වනවා.

NASA ප්‍රධානී ලෙස අයිසැක්මන්ගේ නම ඉවත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ලිස් හූස්ටන් පවසා සිටියේ NASA ආයතනයේ ප්‍රධානියා වීමට සුදුසු වන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ න්‍යායපත්‍රයට අනුගත ව කටයුතු කළ හැකි නායකයෙකු බවයි.

ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු නව ප්‍රධානියෙකු පත් කර එවන තුරු එම ධුරයේ වැඩ බැලීම සඳහා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ ජෙනට් පෙට්‍රෝ පත් කරන ලද අතර මේ වන තුරු ද ඇය එම ධුරයේ කටයුතු කරනවා. NASA ඉතිහාසයේ තාවකාලික ව හෝ ප්‍රධානී ලෙස කාන්තාවක් පත් වීම් ලද පළමු අවස්ථාව වන්නේ එයයි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications