Home Science News එට්නා යමහල් ලාවා ප්‍රවාහයක් චන්ද්‍රිකා නෙතට හසුවෙයි

එට්නා යමහල් ලාවා ප්‍රවාහයක් චන්ද්‍රිකා නෙතට හසුවෙයි

by Sathya

 

මධ්‍යධරණී මුහුදේ පිහිටි සිසිලිය නම් ඉතාලි දූපතේ තිබෙන එට්නා ගිනිකන්ද යුරෝපයේ ඇති විශාලතම සක්‍රිය යමහලයි. මීටර් 3,357 ක් එනම් අඩි 11,013 ක් උසැති එට්නා යමහල සක්‍රිය වී තිබූ මොහොතක එහි බෑවුම දිගේ පහළට අග්නි ගංගාවක් මෙන් ගලා ගිය අතිශය උණුසුම් ලාවා ප්‍රවාහයක් චන්ද්‍රිකා ඇසට ලක් වී තිබෙනවා.

පසුගිය ජූනි 2 වෙනි දින ප්‍රාදේශීය වේලාවෙන් පෙරවරු 11.20 ට මේ දර්ශනය සිය කැමරා නෙතට හසු කරගෙන තිබෙන්නෙ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය  (ESA) ට අයත් කොපර්නිකස් සෙන්ටිනෙල් 2  චන්ද්‍රිකාව මඟිනුයි. එම චන්ද්‍රිකාව හරියට ම යමහලට ඉහළින් ගමන් කරමින් තිබූ මොහොතකයි එම නිරීක්ෂණය සිදු කරනු ලැබුවේ.

මෙම යමහල් විදාරණයේ දී එයින් ඉහළට පිට වී ගිය දුම් ගොටුව කිලෝමීටර් 6.5 ක් උසට විහිදී ගොස් තිබෙනවා. එහි ප්‍රධාන වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අන්තර්ගත අතර එය අධික සාන්ද්‍රණවල දී මාරාන්තිකව විෂ වායුවක් වෙනවා.
කෙසේ වෙතත් යමහල් විදාරණය පැය හයකට වඩා නො පැවතුණ නිසා ම එයින් පරිසරයට ඇති වී තිබෙන්නෙ කෙටි කාලීන බලපෑමක්.

ගිනි කන්දෙන් පහළට බැස ගිය අතිශය උණුසුම් ලාවා ප්‍රවාහය මිනිසුන් වෙසෙන කිසිදු ප්‍රදේශයකට ගලා ගොස් නැති නිසා ඉන් කවරෙකුට හෝ කිසිම හානියක් සිදු වී නැහැ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අණ දෙන නිලධාරිවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ලද අභ්‍යවකාශගාමියෙකු වන ක්‍රිස් හැඩ්ෆීල්ඩ් පසුගිය ජූනි 3 වෙනි දින සිය X සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි මේ පිළිබඳව සටහන් කර ඇත්තේ ඔහු උඩු ගුවනේ සිටි සය මසක කාලය තුළ මෙවැනි අවස්ථා දැක තිබෙන නමුත් පෙර දින දුටු එට්නා යමහල් විදාරණය අතිශය ත්‍රාසජනක එකක් බවයි.
ද්‍රව වූ පාෂාණ පිරුණු නරකයක් වසා ගත් සිසිල් වූ තුනී කබොලක් මත අප ජීවත් වන බව ඔහු එම සටහනේ දක්වා තිබෙනවා.
එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයට අයත් ගෝලීය යමහල් වැඩසටහනට අනුව 2022 වසරේ නොවැම්බර් මස සිට ම වරින් වර එට්නා යමහලේ මෙවැනි විදාරණයන් සිදුවෙමින් පවතිනවා.

Live Science සහ ESA ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications