Home Science News පළමු වරට බ්‍රිතාන්‍ය MI6 ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කාන්තාවක් පත්වීම් ලබයි

පළමු වරට බ්‍රිතාන්‍ය MI6 ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කාන්තාවක් පත්වීම් ලබයි

by Sathya

බ්‍රිතාන්‍ය විදේශ රහස් බුද්ධි සේවය වන MI6 හි මීළඟ ප්‍රධානියා වශයෙන් ප්‍රථම වතාවට කාන්තාවක පත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ පත් වීම් ලබා ඇත්තේ වසර 20කට අධික කාලයක් එහි බුද්ධි නිලධාරිනියක ලෙස කටයුතු කළ බ්ලේස් මෙට්‍රවේලි (Blaise Metreweli) යි.

1999 වසරේ එරට රහස් ඔත්තු සේවයට බැඳුණු මෙට්‍රවේලි, මේ වසර අග දී මේ වන විට එම තනතුරේ කටයුතු කරමින් සිටින ශ්‍රීමත් රිචඩ් මුවර්ගේ විශ්‍රාම යාමෙන් පසු පත්වීම් ලැබීමට නියමිතයි. MI6 රහස් බුද්ධි සේවයේ වසර 116ක ඉතිහාසය තුළ එහි ප්‍රධානී ලෙස 17 දෙනෙකු කටයුතු කර තිබෙනවා. මෙට්‍රවේලි එම අසුනට පත් වන 18 වැනියායි. මේ වන විට ඇය MI6හි තාක්ෂණ සහ නවෝත්පාදන අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කරනවා.

එරට අග්‍රමාත්‍ය කියර් ස්ටාමර්, ඔත්තු සේවයේ රාජකාරිය අන් කවරදාකටත් වඩා වැදගත් ව පවතින මේ සමයේ සිදු වූ මේ තෝරා පත්කර ගැනීම ‘ඓතිහාසික’ බව සඳහන් කරනවා.

MI6 හට එක්සත් රාජධානියේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා විදේශීය බුද්ධි තොරතුරු රැස්කිරීමේ කාර්යය පැවරී ඇති අතර, එහි මූලික ඉලක්ක වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම, සතුරු රාජ්‍යයන්ගේ ක්‍රියාකාරකම් අකර්මණ්‍ය කිරීම සහ සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමයි.

MI6 ප්‍රධානියා බොහෝ විට හඳුන්වනු ලබන්නේ “C” යන කේත නාමයෙන්. එමෙන්ම සේවයේ සිටින ප්‍රසිද්ධියේ නම් කරන ලද එකම සාමාජිකයා ද වන්නේ ඔහු හෝ ඇයයි.

මෙම තනතුර හොබවන්නා සිය රාජකාරිමය වාර්තා කිරීම සිදුකරන්නේ බ්‍රිතාන්‍ය විදෙස් ලේකම්වරයා වෙතයි. එම තනතුරේ කටයුතු කළ මුල් ම තැනැත්තා වන කපිතාන් මෑන්ස්ෆීල්ඩ් කමිං සිය ලිපි ලේඛන හා සටහන් තැබීම් කොළ පැහැති තීන්ත වර්ගයක් භාවිත කළ බව පැවසෙනවා. ඒ අනුව අදටත් බ්‍රිතාන්‍ය රහස් බුද්ධි සේවය තුළ කොළ පැහැ තීන්තවලින් සටහන් තබන එක ම පුද්ගලයා වන්නේ එහි ප්‍රධානියායි.

BBC ඇසුරෙනි.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications