Home Science News ක්වොන්ටම් පරිගණකයක් අභ්‍යවකාශයට

ක්වොන්ටම් පරිගණකයක් අභ්‍යවකාශයට

by Sathya

ක්වොන්ටම් තාක්ෂණයේ ඓතිහාසිත සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඉකුත් දා ක්වොන්ටම් පරිගණකයක් අභ්‍යවකාශය වෙත දියත් කිරීම සිදුවුණා.

ජුනි 23 වැනිදා කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා කඳවුරෙන් SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් උඩුගුවනට යවන ලද මේ සංයුක්ත පද්ධතිය සංවර්ධනය කරනු ලැබ ඇත්තේ වියානා විශ්වවිද්‍යාලයේ ෆිලිප් වෝල්ටර්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර කණ්ඩායමක් විසින්. මෙම ප්‍රොසෙසරය පෘථිවියට කිලෝමීටර් 550ක් පමණ ඉහළින් කක්ෂගත ව ක්‍රියාකාරිත්වය ආරම්භ කිරීමට නියමිතයි.

මෙහි දියත් කිරීම SpaceXහි Transporter 14 මෙහෙයුමේ කොටසක් වූ අතර, ඒත් සමඟින් ක්ෂුද්‍ර චන්ද්‍රිකා, කියුබ්සැට් චන්ද්‍රිකා සහ නැවත ඇතුළු වීමේ කැප්සියුල ඇතුළු අයබර බර ඒකක 70ක් ද උඩුගුවනට රැගෙන යනු ලැබුණා. කෙසේ නමුත් ඒ අතර තිබූ විශේෂිතම අංගය වූයේ මෙකී කුඩා ක්වොන්ටම් පරිගණකයයි. අභ්‍යවකාශයේ දත්ත සැකසුම් කටයුතුවල මෙන් ම පෘථිවි නිරීක්ෂණයේ ද විප්ලවීය වෙනසක් ඇති කිරීමේ හැකියාව එය සතු බවට විශ්වාස කෙරෙනවා.

කක්ෂීය ව ක්‍රියාත්මක වන ක්වොන්ටම් පරිගණකයක් සැකසීම බරපතළ ඉංජිනේරුමය වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. වියානාවේ පර්යේෂණ කණ්ඩායම විසින් මෙම උපකරණය ඉතා උග්‍ර උෂ්ණත්ව විචලන, විකිරණ, සහ අභ්‍යවකාශ ගමන්වලදී ඇතිවන කම්පනවලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.

චන්ද්‍රිකාව කක්ෂයට ඇතුළු වීමෙන් සතියකට පමණ පසු ප්‍රතිඵල සම්ප්‍රේෂණය ආරම්භ කරනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. “මෙම ව්‍යාපෘතිය අපව ‘අභ්‍යවකාශ කණ්ඩායමක්’ බවට පත් කර තිබෙනවා. මූලික ක්වොන්ටම් භෞතික විද්‍යාව සඳහා හෝ ප්‍රායෝගික යෙදුම් සඳහා වේවා, තවත් අභ්‍යවකාශ පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය දැනුම අපට දැන් තිබෙනවා,” වෝල්ටර් සඳහන් කරනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications