Home Science News මස්තිෂ්ක භක්ෂක ඇමීබා ආසාදනයකින් 12 හැවිරිදි දරුවෙක් මියයයි

මස්තිෂ්ක භක්ෂක ඇමීබා ආසාදනයකින් 12 හැවිරිදි දරුවෙක් මියයයි

by Sathya

ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ විසූ 12 හැවරිදි දරුවෙක් ඉකුත් දා දුර්ලභ මස්තිෂක-භක්ෂක ඇමීබා ආසාදනයක් හේතුවෙන් මරණයට පත් ව තිබෙනවා.

ජේසන් කාර් නමැති මේ මධ්‍යම පාසල් සිසුවා ඉකුත් දා කොලොම්බියාවට සැතපුම් 15ක පමණ දුරකින් පිහිටි ‘මරේ විල’ හෙවත් Lake Murray නමැති ජලාශයේ පිහිනමින් සිටින අවස්ථාවේ දී මෙකී විරල ගණයේ ආසාදනයට මුහුණ දී තිබුණා.

ප්‍රතිකාර සඳහා ජේසන් ඇතුළත් කරනු ලැබූ දකුණු කැරොලිනාවේ Prisma Health Children’s Hospital රෝහල සඳහන් කළේ මේ මරණයට වගකිව යුත්තේ Naegleria fowleri නමැති මස්තිෂ්ක-භක්ෂක ඇමීබාවෙකු බවයි. උන් වාසය කරන්නේ උණුසුම් මිරිදිය ජලයේයි.

මෙම ඇමීබාවන් දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ඕනෑ ම මිරිදිය ජලයක මෙන් ම එක්සත් ජනපදයේ ගිනිකොනදිග ප්‍රදේශවලින් ද බහුල ව හමුවන ජීවියෙකු බව එරට ළමා බෝවන රෝග පිළිබඳ වෛද්‍යවරියක වන ආනා-කැත්‍රින් බර්ච් සඳහන් කරනවා.

උණුසුම් කාලගුණයක් ඇති විට, ජලයේ සිටින ඇමීබා ගණන වැඩි වන අතර ජල මට්ටම අඩු වීම ද සිදුවනවා. බොහෝ විට ආසාදන ඇති වන්නේ එවිටයි. ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට (Centers for Disease Control – CDC) අනුව, ඇමීබාවන් ආසාදනය බොහෝ විට මාරාන්තික වුවත්, එවැන්නක් වාර්තා වන්නේ ඉතා ම කලාතුරකින්. 1962 සිට 2024 දක්වා කාලය තුළ ඇමරිකාවෙන් වාර්තා වී ඇත්තේ මෙවැනි ආසාදන 167ක් පමණයි. එහෙත් ඉන් අවස්ථා 4ක් හැරෙන්නට අන් සියල්ල ම කෙළවර වී ඇත්තේ මරණයෙන්.

“මේ ඇමීබා හා හමු වූ පමණින් ආසාදන ඇති කරන්නේ නැහැ.” වෛද්‍ය බර්ච් සඳහන් කරනවා. “අපි බොහෝ දෙනෙක් මේ ඇමීබාට නිරාවරණය වෙලා තියෙනවා.”

ජලයේ මෙම ඇමීබාවන් සිටියත්, එය පානය කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් නිරාවරණය වීමෙන් මිනිසුන්ට ආසාදනය විය නොහැකි බව, CDC සඳහන් කරනවා. එය ආසාදනය වන්⁣නේ නාසය ඔස්⁣සේ ඇතුළු වුවහොත් පමණයි.

මෙවැනි ආසාදන ඉතා කලාතුරකින් හමු වන බැවින් ඒවා හඳුනා ගැනීම අපහසු බව සඳහන්. හිසරදය, උණ, ඔක්කාරය සහ වමනය පහ වීම එහි රෝග ලක්ෂණ විය හැකි බව CDC පවසනවා.

මෙම ඇමීබාවන් විශේෂය ‘brain-eating amoeba’ යන අන්වර්ථ නාමයට බඳුන් ව ඇත්තේ ජල ප්‍රවාහයත් සමඟ නාසය තුළින් සිරුරට ඇතුළු වීමෙන් පසු, ආහාර ප්‍රභවය ලෙස මොළයේ පටක භාවිත කරන බැවිනුයි.

2022 වසරේ ද නෙබ්‍රස්කාහි ගඟක පිහිනීමට ගිය දරුවෙකු Naegleria fowleri ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් ව තිබෙනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications